03/07/2026
ඔබත් ඔබේ ඉඩමට "බිම්සවිය" හිමිකම් සහතිකයක් සඳහා ඉල්ලීම් කරාද?
එහෙනම් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙන්මයි!
ඔබත් බිම්සවිය හිමිකම් සහතිකයට අයදුම් කරලා, ඒක ලැබෙනකල් මඟ බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔබට කියන්න ඉතාමත් වැදගත් ආරංචියක් තිබෙනවා. විවිධ හේතු නිසා ඔබට මඟහැරුණු, නමුත් මේ වනවිටත් සාදා නිම කර ඇති ඔබේ වටිනා හිමිකම් සහතිකය ප්‍රාදේශීය ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කාර්යාල සතුව සුරක්ෂිතව පවතිනවා.
💡 ඇයි ඔබ මේ සහතිකය ඉක්මනින්ම අතට ගන්න ඕනේ?
බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට, ඔබේ බිම්සවිය හිමිකම් සහතිකය හැදුණා කියන්නේ ඔබේ පැරණි ඔප්පු සඳහා වන ඉඩම් පත්තිරු (Folios) මේ වන විට වසා දමා ඇති බවයි.
ඒ කියන්නේ, මින් ඉදිරියට ඔබේ ඉඩම විකුණා ගැනීමක්, බැංකුවේ උකස් තැබීමක් හෝ වෙනත් ඕනෑම නීත්‍යානුකූල ගනුදෙනුවක් සිදු කළ හැක්කේ මේ හිමිකම් සහතිකය හරහා පමණමයි!
ඒ නිසා සහතිකය කාර්යාලයේ තිබෙන තාක් කල්, ඔබට ඔබේ ඉඩමේ හදිසි ගනුදෙනුවක් කරගන්න අපහසු වෙන්න පුළුවන්.
✨ ඒ වෙනුවෙන්මයි අපි හිමිකම් සහතික බෙදා දීමේ "මහජන සතිය" ඔබ වෙත අරන් එන්නේ!
ඉතින් මේ වටිනා සහතිකය කඩිනමින් සහ පහසුවෙන්ම ලබාදීම සඳහා මෙම "මහජන සතිය" (හිමිකම් සහතික නිකුත් කිරීමේ විශේෂ වැඩසටහන) ක්‍රියාත්මක වෙනවා.
🗓️ කාලසීමාව: 2026 ජූලි 08 වනදා සිට 15 වනදා දක්වා (ජූලි 13 සඳුදා හැර)
වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.00 දක්වා
📍 ස්ථානය: ඔබේ ප්‍රාදේශීය බිම් සවිය කාර්යාලයෙන් (සහතික ලබාගන්න පුළුවන් හරිම තැන ඔබේ ප්‍රාදේශීය කාර්යාලය ඇමතීමෙන් ලබාගන්න පුළුවන්)
🤝 අපෙන් පුංචි මතක් කිරීමක්:
ඔබේ ප්‍රාදේශීය/ග්‍රාම නිලධාරී කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇති බැනර් හෝ පෝස්ටර් මගින් ඔබේ සහතිකය බෙදාහරින නිවැරදිම දිනය සහ ස්ථානය කලින්ම දැනුවත් වෙන්න.
ඉතින් ප්‍රමාද වෙන්න එපා...
ඔබ එනකොට මෙන්න මේ දේවල් අරගෙන එන්නත් අමතක කරන්න එපා.
•ඔබේ ඉඩමේ මුල් ඔප්පුව (ඔප්පුව අස්ථානගත වෙලා නම් දෙවන පිටපත හා මෑතකදී ගත්ත පත්තිරු අනිවාර්යයි)
•ඔබේ අනන්‍යතාවය තහවුරු කරන ලියකියවිලි (ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, මෝටර් රථ බලපත්‍රය)
ඔබ විදේශගත නම් ඔබේ ඇටර්නි බලකරුටත් වලංගු ඇටෝනි බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් මෙම සහතිකය ලබාගන්න පුළුවන්.
ඉතින් පැමිණ, ඔබේ ඉඩමේ පරම හිමිකම තහවුරු කරන බිම්සවිය සහතිකය ආදරයෙන් වැළඳගන්න.🌸🤝
🏛️ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ පණිවිඩයක්
22/05/2026
🏡ඔබේ ඉඩමට "පරම අයිතිය" ලබා දෙන "හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත ගැන" ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු 𝟒ක්!
අපි හැමෝම හිතන්නේ අපේ අතේ "ඔප්පුවක්" තියෙනවා නම් ඒ ඉඩම අපේමයි කියලා. නමුත් ඇත්තටම පැරණි ඔප්පු ක්‍රමය තුළ ඔබේ අයිතිය ඕනෑම වෙලාවක අභියෝගයට ලක් වෙන්න පුළුවන් කියලා ඔබ මේ වෙනකොට දන්නවා ඇති.
(ඔප්පු ක්‍රමයේ දෝෂ සම්බන්ධයෙන් අප විසින් පළ කරන ලද පෝස්ට් එක බලන්න මෙම සබැඳිය click කරන්න) 👉 https://www.facebook.com/share/p/1Kv3dGdJht/
අන්න ඒ අනාරක්ෂිත බව නැති කරලා, රජය විසින්ම ඔබේ ඉඩමට "පරම අයිතිය" සහතික කරලා දෙන අරමුණෙන් සම්මත කරපු නීතිය තමයි "1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත" කියලා කියන්නේ. සරලව කිව්වොත්, මේ පනත හරහා ඔබේ ඉඩමට ලැබෙන්නෙ "වගකීම් සහතිකයක්" වගේ දෙයක්!
මේ පනත ගේන්න මූලිකම අවශ්‍යතාවය වුණේ මිනින්දෝරු Plan එකක් නොමැති ඉඩම් සඳහා සිතියමක් සකස් කිරීමත්, ඔප්පුවක තියන අඩුපාඩු ඉවත් කිරීමත්, ඉඩම් සම්බන්ධයෙන් අධිකරණයේ තියෙන නඩුබර අඩු කිරීමත් ඉටු කරන්නයි. ඒ වගේම රජයේ නිලධාරීන් හරහා ඉඩම් කොටසක හිමිකම විමර්ශනය කරලා හිමිකම ලියාපදිංචි කිරීමත් ඉන්පසුව සිදුවන පසු ගනුදෙනු විධිමත් කිරීමත් මේ පනතේ මූලික අරමුණු විදියට හඳුනාගන්න පුළුවන්.
පනත ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තුනක එකතුවකින්. පනතේ නෛතික බලකරු වෙන්නේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව. ඉඩම් මැනීමේ කටයුත්ත ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සිද්ධ කරනවා. ඒ වගේම හිමිකම ලියාපදිංචි කිරීම හා හිමිකම් සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සිද්ධ කරනවා.
𝟏. පැරණි ඔප්පු ක්‍රමය සහ හිමිකම් ලියාපදිංචිය අතර වෙනස 🔄
අපේ රටේ මෙතෙක් තිබුණේ "ඔප්පු ලියාපදිංචි කිරීමේ" ක්‍රමය, එහෙමත් නැත්නම් ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමයයි. එහිදී වෙන්නේ දෙන්නෙක් අතර සිද්ධ වුණු ගනුදෙනුවක් 1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත මගින් ඉඩම් කාර්යාලයේ පත්තිරුවක ලියාපදිංචි කරන එක විතරයි.
⚠️ අවදානම: අයිතියේ තියෙන වැරදි නිවැරදි වීමක් මෙතැනදී සිද්ධ වෙන්නේ නැහැ. එකම ඉඩමට ඔප්පු කිහිපයක් ලියාපදිංචි වීම වැනි වංචාවලටත් මෙහි ඉඩ කඩ තියෙනවා.
✅ විසඳුම: හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ රජය විසින්ම ඉඩම මැනලා, එක් එක් ඉඩමට සුවිශේෂී අංකයක් ලබා දෙනවා. මේ මැනුම සිද්ධ කරන්නේ Total Station/ GNSS RTK (GPS) තාක්ෂණයෙන්. එහෙම සකස් කරන සිතියමට කියන්නේ කඩයිම් සිතියම එහෙමත් නැත්නම් කැඩැස්තර සිතියමක් කියලා. මායිම් නිවැරදි කරලා ඒවගේම ස්ථාවරත් කරලා, ඉඩමටම ඇවිත් පරීක්ෂා කරලා බලලා, ඔබට ඔප්පු මගින් ආපු අයිතිය නීත්‍යානුකූලව පරීක්ෂා කරලා "හිමිකම් සහතිකයක්" නිකුත් කරනවා. මතක තියාගන්න මේ සියල්ලම කරලා දෙන්නේ රජය විසින් "නොමිලේ"....!
𝟐. "පළමු පන්තිය හා දෙවන පන්තිය" ගැන දැන සිටියාද? 🛡️
මේ පනතේ 14(අ) වගන්තිය යටතේ ඔයාගේ ඉඩමට ඔයාට පළමු පන්තියේ සහතිකයක් ලැබෙන්නේ අදාළ ඉඩම් කොටසට පරම අයිතියක් පෙන්නන්න හැකිනම් පමණයි.
පරම අයිතියක් පෙන්නන්න බැරි උනත් ඒ කියන්නේ ඔයාට කිසිම ලේඛනයක් අදාළ ඉඩම සම්බන්ධයෙන් නැති වුවත් ඔයා සද්භාවයෙන් ඒ ඉඩම භුක්ති විඳිනවා කියලා පේනවා නම් පනතේ 14(ආ) වගන්තිය යටතේ ඔයාට දෙවන පන්තියේ හිමිකම් සහතිකයක් ලැබිය හැකියි. හැබැයි දුක් වෙන්න එපා!
පනතේ 29 වන වගන්තිය අනුව, එම ලියාපදිංචියෙන් පස්සේ වසර 10ක් යනකම් වෙනත් කිසිම කෙනෙක් ඒ ඉඩමට නඩු පවරලා නැතිනම්, ඔබට පරම අයිතිය සහිත පළමු පන්තියේ හිමිකම හිමි වෙනවා.
හැබැයි අයිතිය සහ භුක්තිය සම්බන්ධයෙන් ගැටලු තියන කිසිම ඉඩමකට අධිකරණයෙන් ගැටලුව විසඳාගෙන එනකම් මෙම හිමිකම් සහතිකය ලබාගන්න බැහැ....!.
𝟑. නීතිමය වශයෙන් වැදගත් හිමිකම සම්බන්ධයෙන් කරවන අවසානාත්මක සාක්ෂිය. ⚖️
මේ පනතෙන් ලැබෙන හිමිකම් සහතිකය කියන්නේ ඔබේ ඉඩමේ අයිතිය පිළිබඳ අවසාන තීරණයකි.
🏛️🚫 විශේෂත්වය: ඉතා සීමිත අවස්ථාවලදී හැර වෙනත් කිසිම අවස්ථාවකදී. අධිකරණයකදී මෙම හිමිකම ප්‍රශ්න කරන්න බැහැ. ඒ පිළිබඳ පණතේ 33 වගන්තියේ පැහැදිලිවම දක්වා තියෙනවා.
🤝 පසු ගනුදෙනු: හිමිකම් යටතේ ලියාපදිංචි කළ ඉඩමක්, මේ පනතේ හඳුන්වා දීලා තියෙන ක්‍රමවලට හැරෙන්න වෙනත් කිසිම ක්‍රමයකින් පවරන්න බැහැ. එහෙම කරන ඕනෑම ගනුදෙනුවක් නීතිය ඉදිරියේ "අහෝසි" (Void) වෙනවා. ඒ ගනුදෙනු පහසු කරවන්න අවශ්‍ය ආකෘති පත්‍ර හෙවත් සාදන පත්‍ර මේ වෙනකොට හඳුන්වාදීලයි තියෙන්නේ.
𝟒. දැඩි ආරක්ෂාව 🔐
🗺️📍 කැඩැස්තර සිතියම්: මිනුම්පතිවරයා සහතික කළ නිවැරදිබවෙන් වැඩි සිතියම් පමණක් භාවිතා කරන නිසා මායිම් ආරවුල් ඇති වෙන්නේ නැහැ.
🆔 අනන්‍යතාව තහවුරු කිරීම: ඕනෑම ගනුදෙනුවකදී ජාතික හැඳුනුම්පත (NIC) හරහා පුද්ගලයා කවුදැයි සහතික කර ගැනීම අනිවාර්යයි.
ඉතින්, හිමිකම් ලියාපදිංචිය කියන්නේ ඔබේ ඉඩමට නීත්‍යනුකූලව ලැබිය හැකි ඉහළම ආරක්ෂාවයි. ඉඩම් නඩු සඳහා වැයවන කාලය සහ මුදල ඉතිරි කරගන්නත්, ඔබේ දේපළේ වටිනාකම වැඩි කරගන්නත් මෙය කදිම අවස්ථාවක්.
ඔබේ ඉඩමට රජය සහතික කළ පරම අයිතිය ලබා ගැනීමට ඔබ සූදානම්ද?
ඒ නිසා ඔබේ ප්‍රදේශයට මේ අවස්ථාව ආවොත් එය කිසිසේත්ම අතහරින්න එපා! 📢
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ පණිවිඩයක්…
14/04/2026
සුබ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා...!
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!
Happy Sinhala and Tamil New Year...!
10/04/2026
පසුගිය මාර්තු මස 26 වන දින ගරු. කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය ලාල්කාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු, මෙරට රාජ්‍ය සේවය කෙතරම් දුරට මානුෂීයකරණය විය යුතුද යන්න පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් ඇති කර වන්නට සමත් විය.
1903 වසරේදී ආරම්භ වූ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ මේ වන විට 1931 අංක 20 දරන ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත සහ 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත අනුව ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඉඩම් හිමිකාරත්වය නිරවුල් කිරීම පිණිස සිය ක්‍රියාදාමය අඛන්ඩව ඉටු කරනු ලැබේ.
ඉඩම් හිමිකාරීත්වය යනු පුරවැසියාගේ "සුරක්ෂිතභාවය පිළිබඳ සහතිකයයි." වසර සියවසකට අධික කාලයක් පැවති සාම්ප්‍රදායික ලිපිගොනු පද්ධතියෙන් බැහැර වී, නවීන තාක්ෂණය වැළඳ ගැනීම මෙම ක්‍රියාවලියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. තාක්ෂණය යොදා ගැනීම යනු හුදෙක් කාර්යක්ෂමතාවය වැඩි කිරීම පමණක් නොව, නිලධාරියා සහ පුරවැසියා අතර පවතින "ලිපිගොනු සංස්කෘතියේ" බාධක ඉවත් කිරීමයි.
රාජ්‍ය සේවකයෙකුගේ වැටුප වැඩි කිරීමෙන් ලැබෙන සතුට මාසයක් හෝ දෙකක් වැනි කෙටි කාලයකට සීමා වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කල අතර සැබෑ වෘත්තීය තෘප්තිය ලැබෙන්නේ තමන් වෙත පැමිණෙන ජනතාවගේ ගැටලුවලට සැබෑ විසඳුම් ලබා දීමෙන් ලබන ආධ්‍යාත්මික සතුට තුළිනි. මෙම ප්‍රවේශය රාජ්‍ය සේවයේ මූලික පදනම ලෙස සැලකිය යුතු බව එතුමා අවධාරණය කළේය.
ඉහත සඳහන් කළ මූලධර්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා සුහදත්වය සහ කරුණාව යන්න හුදු ආචාරධර්ම ලැයිස්තුවකින් ඔබ්බට ගෙන ගොස්, එය රාජ්‍ය නිලධාරියෙකු සතු විය යුතු අනිවාර්ය වෘත්තීය නිපුණතාවයක් විය යුතු බව පෙන්වා දෙන ලදී. පැරණි දැඩි නිලධාරීවාදී ස්වභාවය වෙනුවට, ජනතාව සුහදශීලීව පිළිගැනීම සහ කිසියම් රාජකාරියක් ඉටු කළ නොහැකි අවස්ථාවකදී පවා එය කරුණාවෙන් යුතුව ජනතාවට පැහැදිලි කර දීම සැබෑ වෘත්තීය නිපුණත්වය ලෙස මෙහිදී අවධාරණය කරන ලද.
තවද, ජනතාවට වඩාත් සමීපව සේවය සැපයීම සඳහා දැනට පවතින දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල 52 ක සංඛ්‍යාව 80 දක්වා වැඩි කිරීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන අදියරක් ලෙස 2026 වසරේදී අම්පාර, මන්නාරම, නිකවැරටිය, බිංගිරිය, රඹුක්කන ප්‍රදේශවල නව කාර්යාල ස්ථාපිත කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රය තුළ සිදුවන මෙම ව්‍යුහාත්මක සහ ආකල්පමය වෙනස්කම්, සමස්ත රාජ්‍ය පද්ධතියම නවීකරණය කිරීමේ තීරණාත්මක ආරම්භයකි. එය රාජ්‍යය සහ පුරවැසියා අතර පවතින සබඳතාවයේ ගුණාත්මක වෙනසක් වනු ඇත.
17/03/2026
ඉඩම් ඔප්පු ඉතිහාසයට තිත තියන 'ටොරන්ස්' ක්‍රමය: ඔබේ ඉඩමටත් 'වගකීම් සහතිකයක් ' ....!
අලුතින් ඉඩමක් ගන්නවා කියන්නේ ලංකාවේ හැටියට ලෙහෙසි වැඩක් නෙවෙයි. අවුරුදු තිහ හතළිහක පරණ, ඔප්පු මිටි අරන්, පත්තිරු පස්සේ දුවලා, ලෝයර්ස්ලා ලවා අයිතිය නිරවුල්ද කියලා බලන එක හරිම වෙහෙසකර වගේම මුදල් යන වැඩක්. හැබැයි මේ හැම කරදරයකටම තිත තියන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ලෝකයේ තියෙනවා. ඒ තමයි 'ටොරන්ස් හිමිකම් ක්‍රමය' (Torrens System) එහෙමත් නැත්නම් 'හිමිකම ලියාපදිංචි කිරීමේ ක්‍රමය'.
නැවක් වගේ ලේසියෙන් ඉඩමක් ලියාපදිංචි කිරීම...!
මේ ක්‍රමයේ නිර්මාතෘවරයා තමයි 1858 දී දකුණු ඕස්ට්‍රේලියාවේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ සර් රොබට් රිචඩ් ටොරන්ස්. ඕස්ට්‍රේලියානු සිවිල් සේවයේ නිලධාරියෙක් වෙච්ච ඔහු රේගු නිලධාරියෙක් විදිහට වැඩ කරලා තිබුණා. Ulrich Hübbe නම් ජර්මන් ජාතික නීතිඥයෙකුගේ අදහස්ද අරගෙන ඔහු අපූරු සංකල්පයක් ගැන කල්පනා කළා. ඔහු හිතුවා, "නැවක අයිතිය ලියාපදිංචි කිරීම බොහොම සරලව කරන්න පුළුවන් නම් ඒක ඉඩමකට බැරි ඇයි?" කියලා.
අන්න ඒ අදහසින් තමයි, හැම ඉඩමකටම අනන්‍ය අංකයක් දීලා, එහි වත්මන් හිමිකරු සහ සියලු විස්තර ඇතුළත් කරලා රජය විසින්ම සහතිකයක් දෙන ක්‍රමය බිහි වුණේ.
පරණ ක්‍රමයයි - ටොරන්ස් ක්‍රමයයි අතර වෙනස මොකක්ද?
• පරණ ක්‍රමය: මෙතනදී ඔබට ලැබෙන්නේ පරණ ගනුදෙනුවල ලේඛන ගොඩක් විතරයි. ඒ කියන්නේ ඉතිහාසය පුරාම ඉඩම අතින් අතට ගිය හැටි විතරයි තියෙන්නේ. ඒක නිරවුල්ද කියලා හොයන වගකීම තියෙන්නේ ගැනුම්කරුට.
• ටොරන්ස් ක්‍රමය: මෙතනදී ඒ හැම පරීක්ෂාවක්ම කරන්නේ රජයයි. රජය විසින්ම ඉඩම පරීක්ෂා කරලා, "මේකේ හිමිකරු මෙයා" කියලා සහතිකයක් දෙනවා.
මේ ක්‍රමයේ තියෙන විශේෂ මූලධර්ම 3
ටොරන්ස් ක්‍රමය ප්‍රධාන කරුණු තුනක් මතයි ක්‍රියාත්මක වෙන්නේ:
• කැඩපත (Mirror): ඔබ අතේ තියෙන හිමිකම් සහතිකය හරියට කණ්නාඩියක් වගේ. ඉඩමේ වත්මන් තත්ත්වය, ඒ කියන්නේ අයිතිකරු කවුද, උකස් කරලා තියෙනවාද කියන දේ ඒකෙන් පැහැදිලිව පේනවා.
• තිරය (Curtain): අතීතයේ ඉඩමට මොනවා වුණාද කියලා පරණ පත්තිරු පීරන්න ඕනේ නැහැ. හිමිකම් සහතිකය කියන "තිරයෙන්" ඒ අතීතය ආවරණය වෙනවා. ඔබට බලන්න වෙන්නේ සහතිකයේ තියෙන දේ විතරයි.
• රක්ෂණය (Insurance): රජය අයිතිය සහතික කරන නිසා, යම් හෙයකින් රජයේ නිලධාරියෙක් අතින් වුණු වැරැද්දකින් ඔබට අගතියක් වුණොත්, ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න රජය බැඳී ඉන්නවා.
හොර ඔප්පු වලට ඉඩක් නෑ!
ටොරන්ස් ක්‍රමය යටතේ ඉඩමක් වංචනිකව පවරගන්න එක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක්. මොකද, හිමිකම් සහතිකයේ අනුපිටපත අයිතිකරු සන්තකයේ තියෙන්නම ඕනේ. ඒක රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් නොකර කිසිම පැවරීමක් කරන්න බැහැ.
සාමාන්‍ය ක්‍රමයේදී ඔප්පුවට අත්සන් කරපු ගමන් අයිතිය මාරු වුණා කියලා හිතුවට, ටොරන්ස් ක්‍රමයේදී අයිතිය මාරු වෙන්නේ රෙජිස්ට්‍රාර් විසින් පරණ සහතිකය අවලංගු කරලා, අලුත් හිමිකරුට සහතිකයක් නිකුත් කරන මොහොතේදීයි.
මේ අනුව, අවසාන වශයෙන් අපිට තීරණය කරන්න දෙයක් තියෙනවා:
"අපේ වටිනා ඉඩම වෙනුවෙන් අපට අවශ්‍ය වෙන්නේ අවිනිශ්චිත ලිපිගොනු මිටියක්ද? නැතිනම් රජය විසින්ම සහතික කරන ලද ආරක්ෂිත තනි සහතිකයක්ද?"
ශ්‍රි ලංකා ඔප්පු ක්‍රමයේ දුර්වලතා සම්බන්ධයෙන් අප විසින් කලින් පල කරන ලද පෝස්ටුව සඳහා මෙම සබැදිය Click කරන්න. https://www.facebook.com/share/p/1DNxGoe7c3/
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ පණිවිඩයක්....!
09/03/2026
ඔයාගේ ඉඩම ඇත්තටම ඔයාගෙද?
ලංකාවේ ඉඩම් ඔප්පු ක්‍රමයේ ඔබ නොදන්න භයානක දුර්වලතා 4ක්...!
ලංකාවේ හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඉඩම් ඔප්පුවක් තමන්ගේ ගෙදර අල්මාරියේ පරිස්සමට තිබ්බාම ඉඩමේ අයිතිය තමන්ට නිකන්ම ලැබෙනවා කියලා. ඒත් ඇත්තම කතාව නම්, සමහර වෙලාවට ඔයා ළඟ තියෙන ඔප්පුව නිකම්ම නිකම් කඩදාසියක් විතරක් වෙන්නත් පුළුවන්! අපේ රටේ දැනට තියෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයේ තියෙන දුර්වලතා හින්දම, ඔයත් නොදැනුවත්වම ඔයාගේ දහඩිය මහන්සියෙන් මිලට ගත්ත වටිනා ඉඩම අනුන් සතු වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
ඔප්පුවක් තිබුණත් ඉඩම ඔබට අහිමි වෙන්න පුළුවන් ප්‍රධාන හේතු 4ක් මෙන්න:
1. ඔප්පුවකින් අයිතිය හරියටම තහවුරු වෙන්නේ නැහැ
ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ "ලේඛන ලියාපදිංචි කිරීමේ" ක්‍රමයක් මිසක් "අයිතිය හෝ ඉඩම ලියාපදිංචි කිරීමේ" ක්‍රමයක් නෙවෙයි. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් බලන්නේ ඔප්පුවට අදාළ මුද්දර ගාස්තු ගෙවලාද, ලේඛන ටික හරිද කියලා විතරයි. ඒ ඔප්පුවේ තියෙන කරුණු ඇත්තද, විකුණන කෙනාට ඇත්තටම අයිතියක් තියෙනවද කියලා බලන්න ඔවුන්ට කිසිම නීතිමය වගකීමක් නැහැ.
2. එකම ඉඩමට ඔප්පු කිහිපයක් තියෙන්නත් පුළුවන්!
ඔප්පු ලියාපදිංචි ක්‍රමයේ තියෙන දුර්වලතා නිසා එකම ඉඩම හොරට කිහිප දෙනෙකුට විකුණන්න පුළුවන්. හොර නොතාරිස්වරු හෝ බොරු සීල් පාවිච්චි කරලා හරිම සූක්ෂ්ම විදියට හොර ඔප්පු හදනවා. විශේෂයෙන්ම:
• අත්සන් සහ හැඳුනුම්පත් අංක හොරට දාලා හදන ව්‍යාජ ඔප්පු.
• ඔබ දන්නෙවත් නැතිව ඔබ වෙනුවෙන් ඉඩම විකුණන්න වෙනත් කෙනෙකුට බලය දෙන ව්‍යාජ "ඇටෝර්නි බලපත්‍ර"
• මියගිය පුද්ගලයෙක් ජීවතුන් අතර ඉද්දි ඉඩම විකුණුවා වගේ පෙන්වන්න හදන හොර ඔප්පු හදන්නත් පුළුවන්. ලියාපදිංචි කරන්නත් පුළුවන්.
3. පොළොවේ නැති ඉඩම් සහ දිරාපත් වන පත්තිරු
සමහර වෙලාවට ඔප්පුවේ විස්තර තිබුණට මහ පොළොවේ එහෙම ඉඩමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ගැටලු කිහිපයක් තියෙනවා:
• නොබෙදූ පංගු: සමහර පරණ ඔප්පුවල තියෙන නොබෙදූ පංගු හින්දා ප්‍රමාණය හරියටම ගණනය කරපුවහම උත්තරය "0" යි. ඒ කියන්නේ ඔප්පුවේ ඉඩමේ ප්‍රමාණයක් නැහැ!
• පත්තිරු විනාශ වීම: ඉඩම් කාර්යාලවල තියෙන පත්තිරු (Folios) පරණ වෙලා දිරාපත් වුණොත් හෝ විනාශ වුණොත්, ඔබ ළඟ ඔරිජිනල් ඔප්පුව තිබුණත් අයිතිය ඔප්පු කරන්න ගොඩක් අමාරු වෙනවා.
• මිනින්දෝරු පිඹුරු (Plan) ප්‍රශ්න: ඔප්පුවේ තියෙන මායිම් සහ පොළොවේ තියෙන මායිම් ගැලපෙන්නේ නැති ප්‍රශ්න නිතරම ඇති වෙනවා. ඔප්පුවක් ලිවීමට පිඹුරක් (Plan) අත්‍යවශ්‍යම නැහැ. ඒ වගේම තමයි බලයලත් මිනින්දෝරුවරයෙක් අඳින පිඹුරක් ලියාපදිංචි කරන්න පරිපාලන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නැහැ. ඔප්පුවට අදාළ පිඹුර මැනීම සඳහා ලෝකයේ වර්තමානයේ භාවිතා කරන තාක්ෂණික ක්‍රම ශිල්ප අනුගමනය කෙරෙනවත් අඩුයි.
4. අවුරුදු 10ක් ඇහැ කන පියාගෙන හිටියොත් අයිතිය ඉවරයි?
ඔයා ළඟ ඉඩමට අදාල ඔරිජිනල් ඔප්පුව තිබුණත්, "කාලාවරෝධය" කියන නීතිය නිසා ඔබේ අයිතිය නැති වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක් ඔබේ ඉඩමට ඇතුළු වෙලා, අවුරුදු 10ක් තිස්සේ කිසිම බාධාවක් නැතිව භුක්ති විඳගෙන හිටියොත්, ඒ ඉඩම ඔහුට භුක්තියට සවි කරගන්න පුළුවන්. ඉඩම සල්ලි දීලා ගත්තට පස්සේ කැලෑවට අතහැරලා බලන්නවත් යන්නේ නැති අයිතිකරුවන්ට මේක ලොකු තර්ජනයක්.
ස්ථිර විසඳුමක් නැද්ද?
මේ හැම ප්‍රශ්නයකටම තියෙන එකම ස්ථිර විසඳුම තමයි "බිම්සවිය" හෙවත් ඉඩම් හිමිකම් ලියාපදිංචිය. මෙහිදී රජය මගින්ම නොමිලෙම ඉඩම මැනලා, අයිතිය විමර්ශනය කරලා රජය වග කියන හිමිකම් සහතිකයක් ලබා දෙනවා. මේ ක්‍රමයේදී වංචා කරන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු!
ඔබ දැන් ඇත්තටම මොකද කරන්න ඕනේ?
ඉඩමකට නඩුවක් වැටුණාම ඒක විසඳගන්න යන සල්ලියි, කාලයයි එක්ක බලද්දී මේ පෙර සූදානම ගොඩක් වටිනවා:
• නිතර ඉඩමට යන්න: වැටක් ගහලා, ඉඩම පිරිසිදු කරලා ඔබ එහි අයිතිකරු බව අසල්වැසියන්ටත් පේන්න ඉන්න.
• පත්තිරු පරීක්ෂා කරන්න : නීතිඥයෙක් ලවා ඉඩම් කාර්යාලයේ පත්තිරු පරීක්ෂා කරවන්න. ඔබේ අත්සන නැතිව මොකක් හරි ලේඛනයක් ලියාපදිංචි වෙලා තියෙනවද කියලා එතකොට දැනගන්න පුළුවන්.
• ලේඛන පරිස්සම් කර ගන්න: මුල් පිටපත් ආරක්ෂිතව තියන්න. ඒවායේ සහතික කළ පිටපත් (Certified copies) වෙනම තැනක තියන්න. ඔප්පු අංකය, දිනය සහ නොතාරිස්ගේ විස්තර වෙනම සටහන් කරලා තියාගන්න එක නුවණට හුරුයි.
ඉතින්, ඔබේ අල්මාරියේ තියෙන ඔප්පුව ගැන විතරක් විශ්වාස කරලා නිහඬව ඉන්න එපා. අදම ඔබේ ඉඩම ගැන හොයලා බලන්න!
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ පණිවිඩයක්....!