09/12/2025
11 කොටස
පහන්දීත් ගගුලුත් හනීමූන් හොටෙල් එකේ දවස් දෙකක් ඉදලා ගෙදර ආවා. ගෙවුණ දවස් දෙකම ගගුල් නිදාගත්තේ සොෆා එකේ. පහන්දි ඒ ඇයි අහන්න ගියෙ නෑ. පහන්දි හිතුවා ගගුල්ට ඒකට සාධාරන හේතු ඇති කියලා.
පහන්දිටයි ගගුල්ටයි වෙන්වුනේ කැකුනවල වලව්වේ ලස්සනම කාමරය. වලව්වක් කීවට පරණ වලව් ස්ටයිල් එකයි මොඩ්න් ස්ටයිල් එකයි දෙකම එකට එකතු වුණ ලස්සන තට්ටුදෙකේ විශාල ගෙයක් ගගුල්ට තිබුණා. ඉස්සරහා ලොකු ගාඩ්න් එකත් එක්ක දකුණු පැත්තටවෙන්න පොල් වත්තක් තිබුණා. නිවසට පහලින් පොඩි දොල පාරක් යනවා කියලා වත්තේ වැඩට ඉන්න නිමල් කීවට පහන්දි නම් තවම ඒ පැත්තට ගියේ නෑ. පන්සලක් වගේ නිස්කලන්ක මේ ගෙදරට නම් පහන්දි ගොඩාක් ආස වුණා.
නිවසට වගේම පහන්දි මේ ගෙදර මිනිස්සුන්ටත් කාලේ ගෙවෙනවත් එක්ක ගොඩාක් ළං වුණා. විශේෂයෙන් ගගුල්ගෙ අම්මා. තමගෙම දුවට වගේ සුනීතා පහන්දිට ආදරය කලා. අම්මගේ අඩුව ලොකුවටම තිබුණ පහන්දි සුනීතාගෙ ආදරේට ලෝබ වුණා. පියත් නම් ලොකුවට කතාවක් නැති වුණත් පහන්දිට හොදින් සැළකුවා. වගීශා ස්ටඩීස් වලටයි ජොබ් එකටයි කොළඹටම හිරවෙලා හිටියේ. එයා එන්නෙ මාසයකට සැරයක් විතර. ගගුල් කියලත් වෙනසක් නෑ බිස්නස් බිස්නස් කියලා ගෙදර ඉන්නේම නැති තරම්.
මුල් කාලේ ටිකක් අමුතුයි වගේ දැනුනත් දැන් නම් පහන්දිට තමන්ගෙම ගෙදර තරමටම කැකුණවල වලව්ව හුරුයි.
පහන්දීත් ජෙසිත් කුස්සියට වෙලා බර කල්පනාවක. ජෙසි කියන්නෙ කැකුණවල වලවුවේ ගෙදර වැඩට ඉන්න ජෙසිකාට. පහන්දි ඉතින් මෙයාට ආදරේට කියන්නෙ ජෙසී කියලා. වයස ගත්තත් දෙන්නා අතර ලොකුවෙනසක් නෑ..
“මොකද මේ කෙල්ලො දෙන්නා ලොකු කල්පනාවක?”
සුනීතාගෙ හඩින් ජෙසිත් පහන්දිත් ගැස්සුනා.
“අහ් නෑ අම්මේ...අපි කල්පනා කලේ අද දවල්ට මොනවද හදන්නෙ කියලා.”
“අනේ තාම උදේට කාලත් නෑ.. ඇයි මේ දවල්ට උයන ඒවා කල්පනා කරන්නේ?
“ඇයි අම්මෙ අද තාත්තාගෙ යාලුවෙකුත් එනවා කීවනේ ඒකයි ඉතින්...”
“පුතේ ඔයා ඇවිල්ලා දැන් කොච්චර පොඩි කාලයක්ද වෙන්නෙ.. ඒ වුණාට බලනන්න ඔයා ගෙදර වැඩ ඔක්කොමයි වත්තේ වැඩයි සමහර වෙලාවට තත්තාගෙ අකවුන්ට් වැඩයි ඔක්කොම කරනවා. ඔහොම වැඩ කලොත් ඔයා මටත් කලින් වයසට යයි...”
“ඒක නම් ඇත්ත..ලොකු මැඩම්. ඊයේ මම බලද්දි නිමල් එක්ක චූටි මැඩම් පොල් ඇහිදිනවා”
“අහ්... හරි ශෝක්..ගගුල් දන්නවා නම් මටත් බනිවි”
“අනේ අම්මේ.. මට නිකම් ඉන්න කම්මැලී...”
“හරි හරි යන්න දෙන්නම ගිහින් කන්න උදේට. මට බෙහෙත් බොන්න තියන නිසා දූට කලින් මම කෑවා..”
පහන්දිත් ජෙසිත් කෑම කාමරය දෙසට ගියා. සුනීතා කල්පනාවට වැටුනෙ ගගුල්ගෙ නම කියද්දි පහන්දිගෙ මූනෙ හිනාව නැති වුණ එක මතක් වෙලා. බිරිදකගෙන් වෙන්න ඕන හැමදේම පහන්දි අඩුවක් නැතුව කරනවා. ඒත් මොකක්ම හරි තියනවා කියලා සුනීතාට හිතුනා. අහන්නත් බෑ පෙන්න තරම් අවුලක් නැති නිසා. මේ ගෙදර ආයමත් නරක දෙයක් වෙයි කියලා සුනීතාට බයක් නොදැනුනාම නෙවෙයි.......
දවල්ට විශේෂ අමුත්තෙක් එන නිසා සුනීතත් පහන්දීත් දවල් කෑම වේල විශේෂ කරලා හැදුවා. කහබත් උයලා, කුකුල් මස් මිරිසට උයලා, කොස් මැල්ලුමකුත් හදලා, පරිප්පු තෙල් දාලා, බටු මෝජුයි, ගොටුකොළ සම්බෝලයි, පපඩමුයි වියළි මිරිසුයි බැදලා දැනටමත් ඉවරයි. පහන්දිගෙ උවමනාවටම දැන් ජේසි එක්ක කට්ටියම කට්ලට් බදිනවා.
“අනේ මනදා මේ කෙල්ල.. බලන්න අර හදපුවා මදිවට තව කට්ලටුත් ඕනලු..”
“මේ..ලොකු මැඩම්.. ඩයස් සර් එනවටම නෙවෙයි ඔය උඩදාගෙන උයන්නේ.. අද ගගුල් සර් එනවානේ..”
“අනේ.. පුතා එනවාද මම දන්නෙත් නෑනේ.. සති දෙකකටනේ එයා ඔසී ගියේ.”
“චුටි මැඩම් දන්නෙත් මම කීවම.. ලොකු සර් කෝල් එකෙන් කතා කරනවා ඇහුණා.. ඊට පස්සෙ ලොකු සර් තමයි කීවේ දවල්ට කෑම චූටි සර්ටත් එක්ක හදන්න කියලා..”
“අහ්... ඒක තමයි එහෙනම් චූටි නෝනා මට කොහෙන් හරිම කොස් හොයන් එන්න කීවේ..මොකද මේ ගෙදර ඉතින් චූටි මහත්තයා තරම් කොස් පෙරේතයෙක් නෑනේ..”
නිමල් කුස්සියට ආවේ එහෙම කියාගෙනමයි. සුනීතටත් ඒකටනම් හිනගියා. මොකද සුනීතටත් ඇහුණා පහන්දි කොස් හොයන්න කියලා නහයෙන් අඩනවා. කෙල්ල ලැජ්ජාවට තෙල් තාත්චිය දිහා බලාගෙන කට්ලට් බදිනවා.
“කොහොම වුනත් පුතා ඉක්මනට එන එක හොදයි. මැරි කරපු ගමන් එයා ඔයාව තියලා රට ගියපු එකට මගේ නම් ලොකු කැමැත්තක් තිබුනෙම නෑ..”
“අනේ අම්මේ.. එහෙම හිතන්න එපා බිස්නස් වැඩකටනේ ගියේ..”
“මේ බලන්නකො ලොකු මැඩම්...චූටි සර්ට වචනයක්වත් කියනවාට කැමති නෑ”
සුනීතාට මොනවත් කියන්න වුණේ නෑ. පහන්දිගෙ ෆෝන් එක රින්ග් වුණා.
“පුතේ ඔයාට කෝල් එකක් බලන්න පුතා වෙන්න ඇති..”
පහන්දි ෆෝන් එක අතට ගත්තේ ඒ ගගුල් නෙවෙයි කියලා දැනගෙනයි. මොකද අත්යවශ්ය උවමනාවකට ඇරෙන්න ගගුල් පහන්දිට කෝල් කරන්නේ නෑ. ඒකට දුක හිතුනත් ස්ක්රීන් එකේ පෙන්නපු නම දැකලා පහන්දිට සතුට දරාගන්න බැරි වුණා..
“අනේ මෙතූ....ඔයා..”
“අනේ මෙතූ තමයි... හරි ශෝක් ගියා ගියාමයි.. කෝල් එකක්වත් නෑ.. මමම ගන්න ඕන”
“ඔයාට කොහොමද.. ගත්ත ගමන් බනින්න එපා අනේ..”
“මම හොදින් නෙවෙයි පහන්දි..ඔයා නැතුව ගමම පාළුයි වගෙ..”
“මටත් පාළුයි මෙතූ... ඇත්තමයි. ඔයාවයි තාත්තවයි මට ගොඩාක් මතක් වෙනවා..”
“මේ මම ගත්තේ බඩුවක් කියන්න..”
“බඩුවක්?”
“ඔව් ඔව් බඩුවක්..තමයි. “
“කියන්නකො ඉතින් අගේ නොකර.”
“හිමාලි මිස් මට කෝල් කලානේ..”
හිමාලි මිස් ගැන කියද්දිම පහන්දිට තවත් කෙනෙක් නොදැනුවත්වම මතක් වුණා. දුලංග අවුරුද්දක් තිස්සේම පහන්දිව දිනාගන්න ගොඩාක් උත්සහ කළත් පහන්දි කැමති වුණේ නැත්තේ ආදරේ කියන දේ විදින්න, හිතට දැනුණ තැනම නවතින්න ඕන වුණ නිසා. ඒත් කෙල්ලට මේ වෙනකල්ම වුණේ හිතපු දේවල් නෙවෙයි..
“පහන්දි... මොකද අනේ සද්දයක් නැත්තේ.. මිස් ගැන කියද්දි වෙන කෙනෙක් මතක් වුණාද.. දැන් නම් ඒවා හරියන්නෙ නෑ කෙල්ලේ..”
“අනේ පිස්සුද මෙතූ.. කියන්නකො ඔයාගෙ කතාව..”
“හරි.. හොදින් අහගන්න මා මිතුරියනි.. මා ළගදීම ඔබගේ තුරුළට එනවා.. මට පාළුයි”
“මොනද අප්පා.. තෙරෙන්න කියන්නකො’
“හරි හරී.. මේ අර සිරිදු හෝල් එක තියෙන්නේ..ඔයාලගෙ වලව්වට ළගයි නේද?”
“ඔව් ඔව් මට මතකයි..”
“හිමාලි මිස් ඒකේ අලුත් කෝස් එකක් පටන්ගන්නවා. ලබන මාසේ ඉදලා එන්න කීවා මට ඒකෙ වැඩට. හොඳ සැලරි එකක් දෙන්නම් කීවා..”
“අනේ ශෝක්නේ ඔයාට මෙහෙ එන්න පුළුවන් එතකොට..”
“ඔව් ඔව් කෙල්ල.. තව සතියක් වගේනෙ තියෙන්නෙ.. මම එන්නම්කො.. හම්බෙලාම විස්තර කතා කරමු. මට අහන්න දේවල් ගොඩාක් තියනවා..”
“අප්පේ ඒ මොනවද..”
“හනිමූන් එකේ විස්තර එහෙම..”
මෙතූ එහෙම කියලා නිනාවුණා. ඒත් පහන්දි නම් සද්දයක් නෑ. මෙතූ හිතුවෙ කෙල්ල සද්ද නැත්තේ ලැජ්ජාවට කියලා. ඒත් ඇත්තටම පහන්දි නිහඬ වුණේ ගගුල් හනිමූන් එකේදි විතරක් නෙවෙයි ගෙදරට ඇවිල්ලාත් මේ වෙනකල්ම පහන්දි ළගින් නිදාගෙනත තියා කොටින්ම පහන්දිගෙ අතින්වත් අල්ලලාවත් නෑ. හැබැයි මේක දන්නේ පහන්දියි ගගුලුයි විතරයි.
“අනේ අනේ ලැජ්ජා හිතුණා නේද...කෙල්ලට.”
“ හරි හරි ආවම කතා කරමුකො. ඔයාව එහෙම හරි හම්බෙන්න තියන එක ගැන මට සතුටුයි මෙතූ. ඉක්මනට එන්න.”
“හරි කෙල්ල. මට තව වැඩ ගොඩාක් කරන්න තියනවා.. එහෙනම් බුදු සරණයි.”
“බුදු සරණයි මෙතූ..”
පහන්දි කෝල් එක කට් කරනකොටයි වෙලාව දැක්කේ. පහන්දි කුස්සියට ගියෙ දවල් කෑමට වෙලාව හරි නිසා කලබලයෙන්. පහන්දි ගේ ඇතුලට යද්දිම වගේ කාර් එකක් වලව්ව ඉස්සරහා ඇවිත් නවත්තන සද්දය පහන්දිට ඇහුනා. මොන හේතුවකටද දන්නෙ නෑ කෙල්ල එතනම නැවතිලා පපුව අල්ලගත්තේ පුංචි රිදුමක් පපුව ඇතුලෙන් ආව නිසා. කෙල්ල පපුවත් අල්ලගෙනම කෙලින්ම සාලය පැත්තට දුවගෙන ගියෙ කාර් එකේ ආවේ කවුද කියලවත් නොදැන. ගගුල් කොහොම සැලකුවත් පහන්දි ගගුල් එනකම් මගබලන් ඉන්නෙ කියලා ඇත්තටම පහන්දිවත් දන්නෙ නෑ.