Ministry of Agriculture , Sri Lanka

Ministry of Agriculture , Sri Lanka

Share

Welcome to the official page of Ministry of Agriculture ,Livestock Land and Irrigation Sri Lanka.

30/05/2026
Photos from Ministry of Agriculture , Sri Lanka's post 26/05/2026

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තානු මහකොමසාරිස්වරයා අතර හමුවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තානු මහකොමසාරිස් Major General Dr Nayyar Naseer මහතා අතර හමුවක් ඊයේ (25) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට එක් වූ පකිස්තානු මහකොමසාරිස්වරයා මෙලෙස අදහස් පළ කළේය.

“පළමුවෙන් මෙම අවස්ථාව සලසා දීම සම්බන්ධ‍යෙන් ස්තූතිවන්ත වෙනවා. පකිස්තානයත් කෘෂිකාර්මික රටක් හැටියට ශ්‍රී ලංකාවත් කෘෂිකාර්මික රටක් නිසා රටවල් දෙක අතර අන්‍යෙන්‍ය වශයෙන් උදව් කරගැනීමේ හැකියාව තියෙනවා. පකිස්තානය කියන්නේ ලෝකයේ පස්වෙනි තැනට සත්ව නිෂ්පාදනය පැත්තේ ඉන්න රට. කිරි නිෂ්පාදනය අතින් පස්වෙනි තැන ඉන්නවා. ඒ නිසා රටවල් දෙක අතර ඒ පැත්තෙන් සම්බන්ධතාවයක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව උදව් කරන්න සූදානම්.

පකිස්තානයේ තියෙනවා සීනි නිෂ්පාදනය. ඒ වගේම එළවළු නිෂ්පාදනය. පලතුරු ආදී සෑම අංශයක්ම ඉහළ මට්ටමින් තියෙනවා. අපේ රටේ හොඳ වර්ගවල බාස්මතී ප්‍රභේද හදලා තියෙනවා. ශ්‍රී ලංකාවට ගැලපෙන බාස්මතී වර්ග හදාගන්න හැකියාවක් තියෙනවා. පකිස්තානයේ ඉහළ තත්ත්වයේ ඉතා රසවත් අඹ වර්ගයක් තියෙනවා.

2010 වර්ෂයේ සිට අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නම ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වශයෙන් වෙනස් කළා. ජලය තිබුණට බෙදා හැරීමේ ගැටළු පවතිනවා. ඒ තත්ත්වය පානීය ජලය බෙදා හැරීමට වගේම වාරිමාර්ග ක්ෂේත්‍රයටත් බලපෑම් එල්ල කරනවා. පකිස්තානය කෘෂිකර්මාන්තය සහ සත්ව නිෂ්පාදනය අතින් ඉදිරියට ඇවිත් තියෙනවා.

ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පකිස්තානු සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි. අපි ඒ සඳහා ඉතා උවමනාවෙන් සූදානම් වෙනවා. මම ආරාධනා කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයාට අගමැතිතුමිය සමඟ මේ සංචාරය සඳහා එක්වන්න කියලා. එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක පකිස්තානයට ඇවිත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ඇතිකරගෙන තියෙන දියුණුව දැකගන්න කියලා මම ආරාධනා කරනවා.

පකිස්තානය තුළ තිබෙනවා විශිෂ්ටතා කේන්ද්‍රය. එතනදි ඒකට සම්බන්ධ වෙලා තියෙන පර්යේෂණ සහ සංවර්ධන ආයතන දැකබලා ගන්න පුළුවන්.

2010න් පස්සේ පකිස්තානයේ කෘෂිකර්මය කියන විෂය පළාත් අංශවලටත් කෘෂිකර්මය කරන්න බලය දීලා තියෙනවා. ඒ අනුව පළාත්වලත් විශිෂ්ටතා කේන්ද්‍ර පිහිටුවලා තියෙනවා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර 2010 වසරේදී අවසන් වරට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. නිශ්චිත විෂයන්ට අදාළව අලුතින් අවබෝධතා ගිවිසුමත් අත්සන් කිරීම වැදගත්. විශේෂයෙන් පොල්, අන්නාසි, ධාරිතා සංවර්ධනය, සත්ව නිෂ්පාදනය වැනි ක්ෂේත්‍රයන්ට අදාළව. එතනදි අපිට මීට වඩා සහයෝගයෙන් කටයුතු කළ හැකියි.”

මෙහිදී පකිස්තානු මහකොමසාරිස්වරයගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ද සිය අදහස් පළ කළේය.

“පළමුවෙන් මෙම හමුවීම සම්බන්ධයෙන් සතුට පළ කරනවා. පකිස්තානය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වශයෙන් වෙනස් කිරීම කියන කාරණාවෙදි ඉන් අපටත් හොඳ අදහසක් ලබාගත හැකියි. අපේ රට තුළත් තිබෙන්නේ ජල හිඟයක් නෙවෙයි. ජල කලමනාකරණයේ ගැටළුවක්.

පකිස්තානය කියන්නේ දේශපාලනමය වශයෙන් අපේ රටට කිසිදු අවස්ථාවක බලපෑම් නොකළ රටක්. කිසිම වාසියකින් තොරව ශ්‍රී ලංකාවට උදව් කිරීම සම්බන්ධයෙන් සහ දේශපාලන වාසි ලබා නොගැනීම සම්බන්ධයෙන් මම පකිස්තානයට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා අපට පකිස්තානය සමඟ විවෘතව කටයුතු කළ හැකියි.

අගමැතිතුමිය සමඟ සංචාරය සඳහා කළ ආරාධනාවට ස්තූතියි. වෙනත් අවස්ථාවක පකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණෙන්නම්. ඇමරිකා - ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පකිස්තානයේ මැදිහත්වීම අගය කළ යුතුයි. පකිස්තානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ කිසිදු ගැටළුවක් නැහැ. ”

මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී පකිස්තානය පළ කළ සහයෝගයට ස්තූතිය පළ කළේය. ඉදිරි කන්න සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද ලේකම්වරයා මෙහිදී ඉල්ලා සිටියේය.

Photos from Ministry of Agriculture , Sri Lanka's post 21/05/2026

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක්

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayev මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් ඊයේ (20) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.

මෙහිදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් සහ එහි නියෝජිතයින් පිළිගනිමින් අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය.

“ඔබගේ සංචාරය ශ්‍රී ලංකාව සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) අතර වර්ධනය වන සම්බන්ධතාවය පිළිබිඹු කරන අතර අපගේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අනාගත සහයෝගීතාව සඳහා ප්‍රායෝගික මාර්ග ගවේෂණය කිරීමට වැදගත් අවස්ථාවක් සපයයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානය සමඟ ඇති දිගුකාලීන හවුල්කාරීත්වය ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කරයි. සංවිධානයේ පළමු හවුල්කරුවා ලෙස ශ්‍රී ලංකාව ෂැංහයි සහයෝගිතා සංවිධානය කලාපීය සහයෝගීතාව, තිරසාර සංවර්ධනය සහ දකුණු ගෝලීය සහයෝගීතාවයේ සාමූහික අභිලාෂයන් ප්‍රවර්ධනය කරන වැදගත් වේදිකාවක් ලෙස පිළිගනී.

ලෝකයේ ප්‍රමුඛතම කලාපීය සංවිධානයක් ලෙස ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කැපී පෙනෙන වර්ධනය සහ බලපෑම අපි අගය කරන අතර එහි සාමාජික රටවල් සහ හවුලුකරුවන් අතර ආරිථික සහයෝගීතාව, ආහාර සුරක්ෂිතතාව, කෘෂිකාර්මික නවීකරණය සහ තිරසාර ග්‍රාමීය සංවර්ධනය වැඩිදියුණ කිරීම සඳහා එහි අඛණ්ඩ උත්සාහයන් අගය කරමු.

කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ, ජීවනෝපායන්වල සහ ජාතික ආහාර සුරක්සිතතා න්‍යාය පත්‍රයේ මූලික අංගයක් ලෙස පවතී. මෙම සහයෝගීතාවය මත කෘෂිකාර්මික තාක්ෂණය, දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය, පොහොර සහයෝගීතාව, පශු සම්පත් සංවර්ධනය, පර්යේෂණ හවුල්කාරීත්වයන්, අගය එකතු කළ නිෂ්පාදන, ආහාර සැකසීම, කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය සහ වෙළඳපොළ ප්‍රවේශය වැනි ක්ෂේත්‍රවල ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සමඟ සහයෝගිතාව ගැඹුරු විභවයක් පවතින බව අපි දකිමු.

ආර්ථික ඒකාබද්ධතාවය සහ සංවර්ධනයට සහය වන මුලපිරීම් පිළිබඳව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාමුව තුළ අඛණ්ඩව පවතින සාකච්ඡා මඟින් ද අප දිරිමත් කරනු ලබන අතර, මෙම උත්සාහයන් සඳහා ඵලදායී ලෙස දායක වීමට ශ්‍රී ලංකාව කැපවී සිටී.”

මෙහිදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayev මහතා ද අදහස් පළ කළේය.

“මෙම අවස්ථාව ඉතාම සතුටුදායක අවස්ථාවක්. මේ වෙනකොට ශ්‍රී ලංකාව අත්කරගෙන තියෙන වේගවත් සංවර්ධන ක්‍රියාවලිය ඇතුළේ ශක්තිමත් ආර්ථිකයත් ඒ වගේම ජාත්‍යන්තරව දිනාගෙන තියෙන තත්ත්වයත් සතුටුදායකයි. මහජනතාවගේ ජීවන තත්ත්වය ක්‍රමිකව වර්ධනය වෙන අවස්ථාවක තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානය අන්තර් රාජ්‍යයන් අතර තියෙන ජාත්‍යන්තර සංවිධානයක් හැටියට තමයි ක්‍රියාකරන්නේ. මේ සංවිධානය තුළ සාමාජිකයන් 27ක්, ඊට සම්බන්ධ ආයතන 15ක් සහ නිරීක්ෂකයන් දෙදෙනෙකු සිටිනවා. ලෝක ආර්ථිකයෙන් 25%කුත් සමස්ත භූමි ප්‍රමාණයෙන් 40%කුත් මේ සංවිධානය යටතේ ආවරණය වෙනවා. මෙම සංවිධානයේ තියෙන සාමාන්‍ය ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සියලුම අංශ ආවරණය වෙනවා. නීතිය, කෘෂිකර්මාන්තය, සාමාජයීය තත්ත්වයන්, සංස්කෘතිය වැනි සෑම අංශයක්ම මේ සංවිධානයේ ක්‍රියාවලිය ඇතුළේ ආවරණය වෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ අපේ වටිනා සහකරුවෙක්. මෙහි ප්‍රධාන අංශ හැටියට තිරසර කෘෂිකර්මාන්තය, නව කෘෂිකාර්මික වැඩපිළිවෙලවල් එක් කරගෙන අප ඉදිරියට යා යුතුයි. විශේෂ වැඩසටහන් තියෙනවා, ශාක අභිජනනය සම්බන්ධව. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඊළඟට සභාපතීත්වය හිමිවන්නේ පකිස්ථානයට. පකිස්ථානයේ පැවැත්වෙන අමාත්‍යාංශයීය රැස්වීමට ගරු අමාත්‍යතුමාට ආරාධනා කර සිටිනවා.”

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ (තේ සංවර්ධන) අතිරේක ලේකම්, වාරිමාර්ග සංවර්ධන අංශයේ අතිරේක ලේකම්, පශු සම්පත් සංවර්ධන අංශයේ අතිරේක ලේකම්, පොහොර සංවර්ධන අංශයේ අතිරේක ලේකම්, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහභාගී වූ අතර ඔවුන් විසින් ද අදහස් පළ කරන ලදී.

Photos from Ministry of Agriculture , Sri Lanka's post 19/05/2026

ගුණාත්මක බීජ පවතින බව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ඩිජිටල් බීජ නිෂ්පාදන සහතික කිරීමේ සහ හඳුනාගැනීමේ පද්ධතියක් දියත් කරයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහය ඇතිව CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනාගැනීමේ පද්ධතිය (Seed Production, Certification & Traceability System) දියත් කරන ලදී. මෙය ඩිජිටල් නවෝත්පාදනයන් හරහා ශ්‍රී ලංකාවේ බීජ අංශය නවීකරණය කිරීම සඳහා තැබූ වැදගත් පියවරකි.

මෙම නව පද්ධතිය මගින් බීජ වටිනාකම් දාමය පුරා සිටින පාර්ශවකරුවන් අතර විනිවිදභාවය, කාර්යක්ෂමතාව, සොයාගැනීමේ හැකියාව සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මගින් බීජ නිෂ්පාදනය සහ සහතික කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරයි. මෙය පුළුල් 'CROPIX' ඩිජිටල් කෘෂිකාර්මික වේදිකාවේ කොටසක් වන අතර, වඩාත් ප්‍රත්‍යස්ථ, කාර්යක්ෂම සහ ගොවියා කේන්ද්‍ර කරගත් කෘෂිකාර්මික අංශයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහය දක්වයි.

කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමට, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට සහ ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ගුණාත්මක බීජ මූලික වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ බීජ අංශය බීජ නිෂ්පාදනය සහ සහතික කිරීමේ ක්‍රියාවලීන්හි ප්‍රමාදයන්, ගුණාත්මක බව සහතික කළ බීජ සඳහා පවතින සීමිත ප්‍රවේශය, විසිරී පවතින තොරතුරු පද්ධති සහ බීජ බෙදා හැරීමේ ජාලයන්හි පවතින සීමිත සොයාගැනීමේ හැකියාව ඇතුළු අභියෝග රැසකට මුහුණ දෙයි.

අලුතින් දියත් කරන ලද CROPIX බීජ පද්ධතිය, බීජ වගා කරන්නන්, බීජ හසුරුවන්නන්, රසායනාගාර, ක්ෂේත්‍ර නිලධාරීන්, පරිපාලකයින් සහ අනෙකුත් කෘෂිකාර්මික තොරතුරු පද්ධති එකිනෙකට සම්බන්ධ කරන ඒකාබද්ධ පද්ධතියක් හරහා මෙම අභියෝගවලට විසඳුම් ලබා දෙයි. මෙම වේදිකාව මගින් බීජ නිෂ්පාදන සහ සහතික කිරීමේ කටයුතු තත්‍ය කාලීනව (real-time) නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන අතරම, විශ්වසනීය බීජ ආශ්‍රිත තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව ද වැඩිදියුණු කරයි.

තත්‍ය කාලීන දත්ත සහිත ජාතික බීජ දත්ත ගබඩාවක්, වෙබ් පාදක කළමනාකරණ මෙවලම්, යෙදුම් වැඩසටහන් අතුරුමුහුණත් (APIs), ඩිජිටල් ක්ෂේත්‍ර ලියාපදිංචි කිරීමේ සහ සහතික කිරීමේ ක්‍රියාවලීන්, රසායනාගාර පරීක්ෂණ ඒකාබද්ධ කිරීම, බීජ තොග සහ ඉන්වෙන්ටරි කළමනාකරණය මෙන්ම බීජ නිෂ්පාදන සහ සහතික කිරීමේ චක්‍රය ආවරණය වන පරිදි සොයාගැනීමේ (traceability) කාර්යයන් මෙම පද්ධතියට ඇතුළත් වේ.

මෙම පද්ධතිය බීජ සහතික කිරීමේ සේවාව (SCS) සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය (SPMDC) අතර වඩා හොඳ සම්බන්ධීකරණයකට ද සහය දක්වයි. තවද, මෙම පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම (Digital Economy Blueprint) සමඟ තාක්ෂණිකව අනුකූල වේ.

CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ හඳුනාගැනීමේ පද්ධතිය හරහා ගුණාත්මක බීජ සහ තත්‍ය කාලීන තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ලැබීමෙන් ගොවීන් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම රජයේ ආයතනවලට සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට දත්ත මත පදනම් වූ වඩාත් නිවැරදි තීරණ ගැනීමට ද මෙමගින් අවස්ථාව සැලසේ. බීජ නිෂ්පාදන සහ සහතික කිරීමේ ක්‍රියාවලිය පුරා විනිවිදභාවය සහ වගවීම ද මෙම පද්ධතිය මගින් ඉහළ නංවයි.

මෙම මූලිකත්වය ශ්‍රී ලංකාවේ පුළුල් ඩිජිටල් කෘෂිකාර්මික ක්‍රියාවලියට දායක වන අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සහ කෘෂිකාර්මික අන්තර්-ක්‍රියාකාරී රාමු ශක්තිමත් කිරීමේ ජාතික උත්සාහයන් සමඟ සමපාත වේ.

මෙම වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

දිට්වා සුළි කුණාටුව වෙලාවේ අපි ටිකක් ගැස්සුණා. අපිට බීජ වී ටික නැතිවෙයි කියලා. අපි දළ වශයෙන් අනුමාන කළා ගොවියෝ මේක කොහොමහරි කරයි කියලා. දත්තමය වශයෙන් අපිට ඒක හිතාගන්න බැරි වුණා. මෙවැනි කටයුත්තක් සම්පූර්ණ කරගත්තම මං හිතන්නේ එවැනි ගැටළුවලට අපිට උත්තර ලැබෙනවා. ඒ නිසා මේ කටයුත්ත ඉතා වැදගත් කාර්යයක්. ආණ්ඩුව වශයෙන් අපි මේකට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා.

ප්‍රමාණාත්මකව එකතුවෙලා අද මේක ගුණාත්මක පිම්මක් පැන්නා. ආයෙත් මේක ටික ටික එකතුවෙලා තමයි ගුණාත්මක පිම්ම පනින්නේ. එහෙම වැඩක් තමයි අද මේ සිද්ද වුණේ. මේ සඳහා FAO ආයතනය ඉදිරියෙන් ඉන්නවා. මේක සාර්ථක කරගන්න මැදිහත් වුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතනවලට ස්තූතිවන්ත වෙනවා. අපි මේ ගුණාත්මක පිම්ම එක්ක ඉදිරියට යමු.”

Photos from Ministry of Agriculture , Sri Lanka's post 11/05/2026

සමස්ත චීන කාන්තා සම්මේලනය මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත කරන ලද ප්‍රදානයක් ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ සාමූහික ව්‍යාපෘතියක් ලෙස ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල් රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.05.06 දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

“මීට අවුරුදු සියයකට විතර කලින් වී.අයි. ලෙනින් කියන දේශපාලඥයා කාන්තා විමුක්තිය කියන පොතේ සඳහන් කරන විදිහට ගෙයක් ඇතුළේ තියෙනවා ෆැක්ටරි 3ක්. ඒ ෆැක්ටරි තුන ගේ ඇතුළෙන් එළියට නොගන්නා තාක් කල් කාන්තා විමුක්තියක් ගැන කතා කිරීම කිසිම තේරුමක් නැහැ. කාන්තා විමුක්තිය ඇති කරන්න නම් උයනපිහන, කපනකොටන මේ ෆැක්ටරිය ගෙයින් එළියට ගන්න ඕනේ. අඩු වැඩි වශයෙන් දියුණු සමාජවල ආහාර පිසීමේ කර්මාන්තය ගේ ඇතුළෙන් එළියට ඇවිත් තියෙනවා. ඉස්සර ගැහැණු ළමයෙක් දීග දෙනකොට අනිවාර්යයෙන් මහන මැෂිමක් දෙනවා. ඒ කියන්නේ රෙදි සකස් කරගැනීමේ කර්මාන්තයත් ඉස්සර තිබුණේ ගේ ඇතුළේ. අද ඒක එළියට ඇවිල්ලා. දැන් අපිට කැමති ඇඳුමක් මිලට ගන්න පුළුවන්. ඒ එක ෆැක්ටරියක් දැන් එළියට ඇවිත් තියෙනවා. දැන් අපිට පුළුවන් කෝල් එකක් දීලා ඕනම වෙලාවක ආහාර ලබාගන්න. හැබැයි ඒකට හොඳ ආර්ථිකයක් ඕනේ. නැත්නම් අපිට පුළුවන් ගෙදර උයන්නම ඕනේ නැහැ. එළියට ගිහිල්ලා අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. හැමෝටම ඔය ‍ෆැක්ටරියෙන් එළියට එන්න බැරිවෙලා තියෙනවා, දුප්පත්කමේ ප්‍රශ්නය නිසා.

දරුවන් රැකබලා ගැනීමේ ෆැක්ටරිය විතරක් ගේ ඇතුළේ තියෙනවා කියලා තමයි ලෙනින් සහෝදරයා කියන්නේ. ඒ කාර්යය ගේ ඇතුළෙන් එළියට අරන් මේ වගේ සමාජයීය කාර්යයක් කළ යුතුයි.

තනි තනි ගෙවල් ඇතුළේ දරුවෝ හදන එක, නඩත්තු කරන එක හරි වෙහෙසකාරියි. ඒකෙන් දරුවන්ට සාධාරණය වෙන්නෙත් නැහැ. දෙමව්පියන්ට සාධාරණය වෙන්නෙත් නැහැ. අනාගත දරුවෙක් බිහිකරන්න අවශ්‍ය කරන හොඳම දේ වෙන්නෙත් නැහැ. ආච්චියි සීයයි බලාගන්න එකෙන් ආදරය ලැබුණත් අනාගත ලෝකය ලැබෙන්නේ නැහැ. නමුත් මෙතනදි බලාගන්නේ අත්දැකීම් තියෙන අය. ඒ ගැන හොඳ අධ්‍යාපනයක් තියෙන අය. ඒ වෙනුවෙන් සැදී පැහැදී එය වෘත්තියක් විදිහට පුහුණු කරපු අය තමයි මේ දරුවෝ රැකබලා බලාගන්නේ.

මේක දිවා සුරුකුම් මධ්‍යස්ථානයකට වඩා දරුවන් සුරැකුම් මධ්‍යස්ථානයක්. දිවා කියන වචනය කපන්න කියලා මම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියට යෝජනා කරනවා.

ලෙනින්ට අනුව වොෂින් මැෂින් එක ගෙදරට ගේනවා කියන්නේ ෆැක්ටරිය ගේ ඇතුළට ගන්නවා කියන එක. අපිට පුළුවන් වෙන්න ඕනේ වොෂින් මැෂින් එකක් නැති ගෙදරක් හදාගන්න. ඊට අදාළ කටයුතු එළියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය කියන ෆැක්ටරි තුන ගෙදරින් එළියට ගත්තොත් ගේ ඇතුළේ ඉතුරු වෙන්නේ මොනවද බලන්න. එහෙම ගෙයක් හොයාගන්න පුළුවන්ද? ඒ නිසා අපි තවම හිතන් ඉන්නවා අපි ගෙවල් ඇතුළට හොයන්නේ හොඳම දේවල් කියලා.

මම මේ වැඩේට සම්බන්ධ වෙන්නේ න්‍යායාත්මක දැනුමත් සමඟ. දැන් ගෙයක් ඇතුළේ තියෙන දේවල් සමාජයීය කාර්යයන් වෙලා තියෙනවා. අපි මේ ෆැක්ටරි තුන ගෙදරින් එළියට ගෙනත් ගෙදර නිවසක් බවට පත්කළ යුතුයි. එතකොට ගේ ඇතුළේ තියෙන්නේ ආදරය, සෙනෙහස, කරුණාව, දයාව.

මේක ඉතාම වැදගත් වැඩක්. අපේ වැඩකරන කාන්තාවන්ට විතරක් නෙවෙයි මේක අවශ්‍ය. දරුවන් තනි තනි වශයෙන් නෙවෙයි සමාජයීය වශයෙන් සංවර්ධනය කළ යුතුයි.”

මෙම අවස්ථාවට කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Photos from Ministry of Agriculture , Sri Lanka's post 11/05/2026

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොර ක්ෂේත්‍රයට අදාළව විශේෂ සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොර ක්ෂේත්‍රයට අදාළව විශේෂ සාකච්ඡාවක් 2026.05.08 දින ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

පොහොර නිර්දේශයට අනුව ජාතික පොහොර අවශ්‍යතාවය ඉදිරිපත් කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජයේ බීජ ගොවිපොළ හා අනෙකුත් ආයතන සඳහා පොහොර අවශ්‍යතාවය සහ අවම යෙදවුම් භාවිතයෙන් වඩා ඵලදායී අස්වැන්නක් ලබා ගැනීම, පොහොර ආනයන තොරතුරු හා දැනට තිබෙන පොහොර තොග පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල යෝජනා සහ මහවැලි අධිකාරියේ යෝජනා පිළිබඳව සහ ඉදිරි පියවර සාකච්ඡා කිරීම මෙහිදි සිදුවිය.

මෙම සාකච්ඡාවෙන් පසුව නිලධාරීන් සහ පොහොර සමාගම්වල නියෝජිතයන් ද සම්බන්ධ වී සාකච්ඡාව පවත්වන ලදී. පොහොර ලියාපදිංචි කිරීමේ හා නියාමන ක්‍රමවේදය පැහැදිලි කිරීම ඒ හා සම්බන්ධව පොහොර පරික්ෂා කිරීම, නිර්දේශ ලබාදීමේ ක්‍රියාවලිය ගැනත් වැඩි වශයෙන් සාකච්ඡා විය. පොහොර වර්ග අත්හදා බැලීම හා පර්යේෂණ ප්‍රගතිය ඉදිරිපත් කිරීම, නව පරම්පරාවේ පොහොර භාවිතය හා එහි අනාගතය පැහැදිලි කරගැනීම සහ සියලුදෙනාගේ අදහස් හා යෝජනා ලබා ගැනීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.

"රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත්, ලෝකය තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සැලකිල්ලට අරගෙන රටේ ආහාර සුරක්ෂිතතාවය සුරැකීමටත්, ඒ වගේම ගොවි ජනතාවගේ ජන ජීවිතයේ නගා සිටුවීමටත්, අපට අවශ්‍ය කරන අස්වැන්න අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ගැනීමත් පදනම් කරගෙන මාස් කන්නයේ පොහොර භාවිතය සම්බන්ධයෙන් අද අපි පුළුල්ව සාකච්ඡා කළා.

දැනට යල් කන්නයට අදාළ කරන පොහොර රට තුළ තිබෙනවා. මේ වෙනකොට ඒවා බෙදා හරිමින් තියෙනවා, ගොවි ජන මධ්‍යස්ථාන හරහා. පෞද්ගලික අංශයේ පසුගිය දිනවල බෙදා හැරීම් නතර කරලා තිබුණා, අපේ ඉල්ලීමක් මත. අපි තීරණයක් අරගෙන තියෙනවා මේ වෙනකොට පෞද්ගලික අංශය හරහාත් සුපුරුදු පරිදි පොහොර බෙදා හැරීමේ කටයුතු ක්‍රියාවට නගන්න. ඒ අනුව බැලුවම රට තුළ කිසිදු ආකාරයක යල් කන්නයේ කුමන හෝ භෝගයකට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. යම් යම් තැන්වල බෙදා හැරීමේ ප්‍රමාදයක් තියෙනවා. ඒවා සම්බන්ධයෙනුත් සාකච්ඡා කෙරුණා. ඒ බෙදාහැරීම් සඳහා තිබෙන ගැටලු විසඳීම සම්පූර්ණයෙන්ම ඉදිරියේදී ගැටලුවක් නැතුව සිද්ධ වෙන ආකාරයට වැඩපිළිවෙළ සකස් කරලා තිබෙනවා.

අපිට ගොවි ජනතාවට කියන්න අවශ්‍යයි මේ පණිවිඩය. යල කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය රට තුළ මේ වෙනකොට තියෙනවා. දැන් අපේ සාකච්ඡාව ගොඩනැගිලා තියෙන්නේ මාස් කන්නයට අවශ්‍ය පොහොර සම්බන්ධයෙන්. මාස් කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා ගැනීමට අදාළ කරන මැදිහත්වීම්වලට කැබිනට් මණ්ඩලය අනුමැතිය මේ වෙනකොට ලබාදීලා තියෙනවා. ඒ අනුව අපේ පොහොර සමාගම් ඒ වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා තියෙනවා. පෞද්ගලික අංශයේ මැදිහත්වීමත් ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී පොහොර භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෙරුණා. විවිධ පාර්ශ්වයන් පහුගිය කාලයේ අපිත් එක්ක සාකච්ඡා කළා, තුන්වෙනි පරම්පරාවේ හතරවන පරම්පරාවේ පොහොර භාවිතය ලංකාවේ ඉදිරියට ගන්න ඕනේ කියලා. ඒ තුළින් පොහොරවල වැඩි ඵලදායීතාවක් ලබාගන්න. සමහර පොහොර වර්ග අඩු කරන්න. දැනට ඒවා පසේ තියෙනවා. කාලයක් තිස්සේ දිගටම පසට එකතු කරලා. ඒ නිසා පොහොර යොදන්න පෙර අනිවාර්යෙන්ම පස පරීක්ෂා කරලා පොහොර යොදන කටයුතු තවදුරටත් පුළුල් කරන්න අද තීරණ ගත්තා. ඒ අනුව අපි විශ්වාස කරනවා අපේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්නත්, ගොවි ජනතාවගේ ජන ජීවිතයේ නගා සිටුවන්නත් අවශ්‍ය කරන කටයුතු වෙනුවෙන් අද වැදගත් සාකච්ඡාවක් සහ ඒ සාකච්ඡාව ඔස්සේ අපි තීරණයකට එළඹුණා. කෘෂි කර්මාන්තයට සම්බන්ධ වෙන හැමෝම විශ්වාසයෙන් දෙගිඩියාවක් නැතුව කෘෂිකාර්මික කටයුතු හොඳින් කරගෙන යන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා ගොවි ජනතාවගෙන්."

Photos from Ministry of Agriculture , Sri Lanka's post 11/05/2026

ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි.

'වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ වූයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ඇතුළු දේශපාලන හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
දිට්වා ආපදාවෙන් විනාශ වූ ලෝක උරුම ඇළහැර අමුන මූලික අදියරේ ප්‍රතිසංකරණය සදහා යොදවා ඇති ඇස්තමේන්තුගත මුදල රු.309,144,000.00 කි.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

"පොළොන්නරුව දිස්ත්‍රික්කය ගත්තොත් 90%ක්ම තියෙන්නේ වී වගාව. එක එක විරුද්ධවාදීන් විවිධ මත පළ කරන නිසා මම පණිවිඩයක් කියන්න කැමතියි. යල කන්නයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රට ඇතුලට ගෙනල්ලා අවසානයි. ඇති තරම් පොහොර තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පහුගිය දවස්වල යල කන්නයට පොහොර බෙදීම ආරම්භ කළා. පෞද්ගලික අංශය යූරියා බෙදන එක නැවැත්තුවා. ඒ අපේ ඉල්ලීමකට අනුව. දැන් මේ වෙනකොට පෞද්ගලික ආයතනවලටත් පොහොර බෙදා හැරීමට අනුමැතිය ලබා දීලා තියෙනවා.

අපි කෘෂිකර්මාන්තයේදී කුඹුර වතුර බැඳලා හාලා නිසි වේලාවට වගා කටයුතු ආරම්භ කරලා නිසි වේලාවට පොහොර යොදලා අනෙකුත් යෙදවුම් කරලා 120 මිලකට වී අලෙවි මණ්ඩලය වී ගත්තත්, තාමත් ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයට සාධාරණය හොඳම විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි මුහුණ දීලා තියෙන එක අභියෝගයක්. අභියෝග එන්නේ ජයගන්න. ඒ නිසා අභියෝග එන එක ප්‍රශ්නයක් නෙවෙයි. අලුතෙන් වී වගාව සඳහා ඉඩම් වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි දැන් වැඩ කරගෙන යන්නේ වගා කරන භූමියෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහායි. අපි ගොවිමහතුන්ගෙන් ඉල්ලන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් අනුගමනය කරන්න කියලයි. නිසි වේලාවට නිසි ප්‍රමාණයට අපි ගහට සලකන්න ඕනේ. දැන් අපි හිරවෙලා තියෙන තැන තමයි අස්වැන්න බොහෝ පොඩි කාලයක් ඇතුළත තමයි එළියට එන්නේ. විශාල අස්වැන්නක් එකවර වෙළඳපොළට ආවම මිල, අලෙවි කර ගැනීම සම්බන්ධව ප්‍රශ්න එනවා. දැන් ඒකට උත්තර හොයන්න වෙලා තියෙනවා. අපි පුංචි කාලයේ ගොයම් කොළය කියලා දෙයක් අපිට පේන්න තිබුණා. ගහේ කොළය නෙවෙයි. ගොවි මහත්වරු මේ ගැන දන්නවා. ගොයම් කොළය නිසා පිදුරු ගහත් එක්කම වී කල් තියාගන්න පුළුවන්. ගොයම් පාගලා වී ටික ගත්තට පස්සේ වී බිස්සේ හරි අටුවේ හරි තියාගන්නවා. දැන් ඒකත් නැහැ. ඒ කියන්නේ ගබඩාකරණයේ කාර්යය නැහැ.

දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැකේජ් එකක් තියෙනවා. පොළව අඟල් හයක් කඩන්න ඕනේ. රසායනික පොහොර අදාළ නිර්දේශය අනුව යොදලා, අමතර වශයෙන් කාබනික පොහොර යෙදිය යුතුයි. ගොවියා ලබාගන්න තෙත වී ගොවියාටම වේලාගැනීමේ ක්‍රමවේදයක් අපි ඇති කළ යුතුයි. ගොවියාටම වී ටික වේලා ගැනීම සඳහා වන ක්‍රමවේදයක් දැන් ගේන්නට ඕනේ. ගොවියෝ කිහිප දෙනෙක් එකට එකතු වෙලා හරි තමන්ගේ වී ටික වේලාගෙන තබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.

ඊළඟට යම් කාලයක් ගබඩා කරගෙන තබා ගත යුතුයි. අපි වැඩසටහනක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඉන්නවා. ඒ සඳහා රජයෙන් ගබඩා හදනවා. වී අලෙවි මණ්ඩලය ගැන නෙවෙයි කියන්නේ. ගෙදර ගබඩාවක් නැත්නම්, ප්‍රමිතිගතව වී වේලලා රජයේ ගබඩාවල තියන්න පුළුවන්. තමන්ට ඕන වෙලාවට ගන්න පුළුවන්.

ආර්ථික විවිධාංගිකරණයක් ගොවියාටත් අවශ්‍යයයි. කිරි හරක් පස් දෙනෙක්වත් හදාගන්න පුළුවන් නම් ඒක වැදගත්. වෙනත් ආදායම් මාර්ග ගැනත් බලන්න වෙනවා, වී වගාවෙන්ම යැපෙන්නේ නැතුව. ආදායම් විවිධාංගිකරණයක් තිබිය යුතුයි.

රටේ ආර්ථිකය නතර වෙලා තිබුණා කියලා හැමෝම දන්නවා. දැන් රටේ ආර්ථිකය දුවන්න පටන් අරන් තියෙනවා. ආර්ථික කටයුතු දුවන්න නම් පහළ ජන කණ්ඩායම් අතට මුදල් එන්න ඕනේ. ජාතික ආදායමෙන් 80%ක් යන්නේ ටික දෙනෙකුට. එතකොට ආදායම් පහළට ගලා එන්නේ නැහැ. පහළ දුප්පත්කම වැඩි වෙනකොට ඒක ආර්ථිකයට අවාසියි.

අපි බලයට එනකොට රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250යි. දැන් රුපියල් 40,000යි. මූලික වැටුප වැඩි වුණාම හැම දීමනාවක්ම වැඩිවෙනවා. රාජ්‍ය සේවකයා තමන්ගේ මුදල් වියදම් කළාම පහළ සිල්ලර කඩය දක්වාම ආර්ථිකය දුවන්න පටන් ගන්නවා. වෙනදා හැම අයවැයක්ම ආවම කිව්වේ පහළට බෙදනවා කන් හැන්දෙන් උඩට බෙදා ගන්නවා සවලෙන් කියලා. අපේ ආණ්ඩුවෙන් මොකද කළේ? උඩට කං හැන්දක්වත් ගත්තේ නැහැ. ජනතාවට බෙදුවේ සවලෙන්. අපිම අත උස්සලා අපේ විශ්‍රාම වැටුප නැති කළා. ඇමතිවරුන්ගේ නිල නිවාස අත්හැරියා. ජනාධිපතිවරුන්ට දීලා තිබ්බ අනවශ්‍ය දේවල් අයින් කළා.

ගොවි ජනතාව අකර්මණ්‍ය නොවී කෘෂිකර්මාන්තයේ යෙදෙන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. අහු මුළුවල තියෙන කුඹුරු කෑලි පවා දැන් වගා කරනවා. වී වගාව වාසිදායක පැත්තට පෙරලලා තියෙනවා. පොළොන්නරුවේ තරම් වහ බිව්වේ නැහැ ලංකාවේ කොහෙවත් වී ගොවියෝ.

ඇති නැති පරතරය අඩු කරමින් ආර්ථිකය නැවත සක්‍රීය ලෙස දුවවන්න පටන් අරන් තියෙන්නේ. අන්න ඒ කටයුත්තෙදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යයත් විශාලයි. රාජ්‍ය ආයතන වලට අයවැයෙන් ඇති තරම් මුදල් වෙන් කරලා තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රාජ්‍ය සේවයට සමාජ යාන්ත්‍රණයට මේ වෙලාවේ හැකියාවක් නැහැ මුදල් වෙන් කළාට ඒවා සම්පූර්ණයෙන් සංවර්ධන කටයුතුවලට යොදවන්න. එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ.

මහජන ආණ්ඩුවක් විදිහට පහළට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නවා. රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. අපි ක්‍රියාත්මක කරන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක්."

Photos from Ministry of Agriculture , Sri Lanka's post 06/05/2026

හෙට දිනන අභිමානවත් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ජාතික හමුව සහ ප්‍රදර්ශනය ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ්හිදී

හෙට දිනන අභිමානවත් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ජාතික හමුව සහ ප්‍රදර්ශනය ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.04.28 දින වෝටර්ස් එජ්හිදී පැවැත්විණ. ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) මූල්‍ය සහයෝගීත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) 2026 ජුනි මසදී අවසන් වීමට නියමිතය. ඊට සමගාමීව ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ කෘෂි ව්‍යවසායකත්ව ජයග්‍රහණ ඇගයීම වෙනුවෙන් SAPP වැඩසටහන සිය සාර්ථක ගමන් ම‍ගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ජාතික හමුව සහ ප්‍රදර්ශනය පැවැත්වේ.

මෙම වැඩසටහනට සහභාගී වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

“අද මේ අවස්ථාව සෑහෙන අභියෝග මැද්දේ යොදාගත්ත වැඩසටහනක්. වියදම් අඩුකරලා බොහොම කලමනාකරණයෙන් මේ වැඩසටහන යොදාගත්තා. අද දවසේ ලස්සන වචන කිහිපයක් අහන්න ලැබුණා. ‘රජයේ රස්සාවක් මට ඕන වුණේ නැහැ. මම ඉගෙන ගත්තා. මං කල්පනා කළේ නැහැ රජයේ රස්සාවක් මට ඕනේ කියලා.’ මෙහෙම කිව්වේ අනූෂා දිසානායක. අපේ රටට මේ ආකල්පය අවශ්‍යයි. එතුමියට බොහොම ස්තූතියි ඒ වචන පෙළ අපට ඉදිරිපත් කළාට. ඊළඟට නුවන් බුද්ධික කිව්වා උපයන ආදායම කලමනාකරණය කරලා වියදම් කරන්නේ කොහොමද කියන එක මේ වැඩසටහනත් එක්ක එකතු වුණාට පස්සේ ඉගෙන ගත්තා කියලා. සමහරු ඉන්නවා මේ දවස්වල මගෙන් ඉගෙන ගන්න එනවා ඒ පාඩම. ඊළඟට නර්මදා කිව්වා වෙනත් කෙනෙකුට අපද්‍රව්‍යයක් තවත් කෙනෙකුට සම්පතක් කියලා.

අපේ අමාත්‍යාංශයට දීලා තියෙන ප්‍රධාන වගකීම තමයි ආහාර සුරක්ෂිතතාවය. SAPP ව්‍යාපෘතිය තුළින් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සම්බන්ධයෙන් තරුණතරුණියන් සම්බන්ධ කරගනිමින් දැවැන්ත කාර්යභාරයක් කරලා තියෙනවා. මේ තරුණතරුණියන් අපේ අමාත්‍යාංශයේ අරමුණ එක්ක පෙළගැස්වීම සම්බන්ධයෙන් මම SAPP ව්‍යාපෘතියට ස්තූතිවන්ත වෙනවා.

ඊළඟ කාර්යය තමයි ග්‍රාමීය ආර්ථිකය ගොඩනැඟීම. අපේ ආහාර සුරක්ෂිතාවයට එහා ගිය කාර්යයක් එතනදි සම්බන්ධයි. විදේශ වෙළඳපොළට අපේ ආහාර ආශ්‍රිත නිෂ්පාදන සැපයීමත් ඒකේ එක කොටසක්. අද ඉදිරිපත් කරපු වැඩසටහනේදී ඒ පිළිබඳව අවබෝධයක් සහිතව අපේ තරුණතරුණියන්ව මේකට පෙළගස්වලා තියෙනවා කියන එක පැහැදිලියි.

ආහාරවලට එහා ගිහිල්ලා අපිට මිනිස්සු හැටියට අවශ්‍ය වෙනවා විසිතුරු බව. අපේ ඇස් දෙක පිනවගන්න ඕනේ. විසිතුරු මාළු කියන්නේ අපේ ඇස් පිනවන දෙයක්. ඒ වගේම තමයි විසිතුරු මල්. මට හිතෙන විදිහට විසිතුරු කුරුල්ලනුත් හිටියා නම් හොඳයි.

ආහාර සුරක්ෂිතතාවය සඳහා අලුත් පරම්පරාව සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක අභියෝගයක්. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආකල්ප පිළිබඳ ප්‍රශ්නය. ඒක උදාහරණයකින් පැහැදිලි කළොත් අධ්‍යාපනයේම ඒක අන්තර්ගතවෙලා තියෙනවා. ඉස්කෝලෙදි අපෙන් අහනවා ඔබ ලොකුවුණාම කවුරු වෙන්නද කැමති කියලා. එතනදි කවුරුත් ගොවියෙක් වෙන්න කැමතියි කියන්නේ නැහැ. කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න කැමැතියි කියලා කියන්නේ නැහැ. එතනදි අපිට පේනවා අපි රටක් විදිහට ආකල්පමය අභියෝගයක ඉන්නවා කියලා. ඊළඟට තවත් තැනක් තමයි මංගල යෝජනා. කිසිම දෙමව්පියෙක් දියණියකට ගොවියෙක් හෝ කෘෂි ව්‍යවසායකයෙක් ඉල්ලා සිටින්නේ නැහැ. එතකොට කොහොමද අපි මේ තත්ත්වය වෙනස් කරගන්නේ. මම හිතන්නේ මේ ව්‍යාපෘතිය මේ අලුතෙන් හොයාගත්ත තරුණතරුණියන් ටික සාර්ථකත්වයට පත්කරගත්තම එක්තරා ආකාරයකින් කලින් ආකල්පයට ප්‍රහාරයක් එල්ල කරනවා. අපේ සමාජයේ තියෙන ගතානුගතික ආකල්පය බිඳදමන්න මැදිහත්වෙන්න ප්‍රායෝගිකව මේ ව්‍යාපෘතිය ඉවහල් වෙනවා. එහෙම ගත්තම මේ වැඩසටහන බොහොම වැදගත් සියයට සියයකටත් වඩා සාර්ථකත්වයක් ලබපු වැඩසටහනක්. සාමාන්‍යයෙන් අපේ රටේ ව්‍යාපෘතියක් කළාම දොස් අහන්න තියෙන්නේ. සල්ලි වියදම් කළා. වෙච්ච දෙයක් නැහැ කියලා.

අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය සම්පූර්ණ කරන්න නම් තරුණ පරම්පරාවක් මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් වෙනුවෙන් කැපවුණු මේ ව්‍යාපෘතියේ සියලුමදෙනාට ඒ වෙනුවෙන් මගේ ගෞරවය ප්‍රණාමය පිරිනමනවා.”

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, IFAD ආයතනයේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ෂෙරීනා තබාසම් මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

Photos from Ministry of Agriculture , Sri Lanka's post 06/05/2026
Photos from Ministry of Agriculture , Sri Lanka's post 06/05/2026

පළිබෝධනාශක තෝරාගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකය (EIQ) භාවිත කිරීමට යෝජනා කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී.

පළිබෝධනාශක තෝරාගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකය (EIQ) භාවිත කිරීමට යෝජනා කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.04.30 දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ. මේ සඳහා සහභාගී වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාය.

එහිදී පළිබෝධනාශක තෝරාගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකය (EIQ) භාවිත කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා විසින් කරුණු පැහැදිලි කරන ලදී.

“පළිබෝධනාශක භාවිතය අපේ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වැඩි කිරීම සඳහා අත්‍යවශය අංගයක් බවට පත්වෙලා ඉවරයි. එම රසායනික ද්‍රව්‍ය භාවිතයේදී අපි හොඳාකාරවම දන්නවා අපිට මූලික වශයෙන් වැදගත් වෙන්නේ එම රසායනික ද්‍රව්‍ය මගින්, එම නිෂ්පාදනය මගින් පළිබෝධකයෙක් කොතරම් සාර්ථකව නසනවාද එහෙම නැත්නම් ... කියන එක ඒ වගේම එම පළිබෝධ නාශකය කෙතරම් ආර්ථිකව වාසිදායී ආකාරයට ගොවි මහත්ම මහත්මීන්ට ලබා ගන්න පුලුවන්ද කියන කාරණයත්. මේ කාරණා දෙකටම අමතරව දැනට අපි ඒ පළිබෝධ නාශක වලින් ක්ෂීරපායින්ට වන හානිය පිළිබඳව දැඩි අවදානයකින් කටයුතු කරනවා. ඒ වුනාට වර්තමානයේ භාවිතා කරන පළිබෝධ නාශකයක් අනාගතයේ පරිසර පද්ධතිය වෙතට, පරිසර පද්ධතියේ තියන මානවයා ඇතුළු සියලුම සංඝටක වලට බලපාන ආකාරය පිළිබඳව ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් පිළිබඳ ඇගයීමක් අපිට තිබුනෙ නැහැ. නමුත් වසර ගණනාවකට පෙර 1992 වර්ෂයේ ඇමරිකාවේ කෝනල් විශ්ව විද්‍යාලය විසින් පාරිසරික බලපෑම් සංගුණකය නමින් හඳුන්වන අපි EIQ කියලා ඉංග්‍රීසියෙන් කියන සංගුණකයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ සංගුණකය ඉදිරිපත් කල අවස්ථාවේදී ඒ හා සම්බන්ධව වැඩි අවදානයක් යොමු කළත් තිබූ දත්ත ප්‍රමාණවත් නොවීම නිසා දිගින් දිගටම ඒ පර්යේෂකයන් මෙ‍ම පාරිසරික බලපෑම් සංගුණකය කරන්නා වූ පර්යේෂණ වල ප්‍රතිඵල මත දත්ත යාවත්කාලීන කරමින් මේක වැඩිදියුණු කරන තත්වයකට පත්වුනා. 2007 වසර වන විට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවා මෙම පාරිසරික බලපෑම් සංගුණකය එහෙම නැත්නම් EIQ අගය ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමයේදී යොදා ගන්න හැකි වන ආකාරයට නිර්දේශ ඉදිරිපත් කරලා තියනවා. අද අපි ඉන්න තත්වය තුළ පාරිසරික බලපෑම් සංගුණිකය මීටත් වඩා සාර්ථකව යොදා ගැනීමේ අවස්ථාවකට අපි එළඹිලා තියනවා. අපිත් මං කලින් කිව්වා සේම පළිබෝධයා නසන්නට තියන හැකියාව, ඒකේ තියන ආර්ථික වැදගත්කම සහ ඊට අමතරව සමස්ථ පරිසරයට කරන බලපෑම් පිළිබඳව ඒකාබද්ධ සංගුණකයක් පාවිච්චි කරමින් අපිට පුළුවන්කම ලැබෙනවා මේ මොහොත වන විට අපේ රටේ පාවිච්චි කරන්නා වූ සියලූම පළිබෝධනාශක කොයි ආකාරයකට නිර්දේශ කිරීමට හෝ කොයි ආකාරයට තොරා ගැනීමට හැකිවේදැයි පිළිබඳව දත්ත තොරතුරු ආශ්‍රයෙන් නිවැරදි නිගමනයකට එළඹෙන්න. මෙම පාරිසරික බලපෑම් සංගුණකය මගින් මෙතුවක් කල් අපි භාවිතා කරන ක්‍රමොපායන් පසෙක ලන්නේ නැහැ. අර ක්ෂීරපායින්ට වන බලපෑම, විශේෂයෙන්ම LD 50 අගය ආශ්‍රයෙන් කරන්නා වූ ගණනය කිරීම් සහ පළිබෝධනාශක ලේබලයක තිබෙන්නා වූ වර්ණ සංයෝජන පිළිබඳව වෙනස් කිරීමක් කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ, යෝජනා කරන්නෙත් නැහැ කිසිම ආකාරයකින්. නමුත් ඊටත් අමතරව මෙම පාරිසරික බලපෑම් සංගුණකය මගින් විද්‍යාඥයන්ට මෙන්ම ඒ පිළිබඳව දැනුම ලබාදීම තුළින් ගොවි ජනතාවටත් වඩාත් සාර්ථකව තමන්ට වැදගත්ම වන තමන්ට වඩාත් වාසිදායක වන සහ අනාගත පරිසර තත්වයන්ට හානිදායක නොවන අයුරින් වන පළිබෝධ නාශකයක් තෝරා ගැනීමට තිබෙන හැකියාව ඔවුන්ට ලැබීමයි. මේක තමයි මේ පාරිසරික බලපෑම් සංගුණකයෙන් කරන්නා වූ විශේෂිත වූ මෙහෙවර. අද අපි මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත අමාත්‍යතුමාව හමුවුනා. මමත්, විශේෂයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂතුමාත්, ඒ වගේම GRIMO ආයතනයේ අජිත් ගුණසේකර මහත්මයාත්. අපි අමාත්‍යතුමාට මේ පාරිසරික බලපෑම් සංගුණිකය පිළිබඳව අපේ යොජනාවලියක්, ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරය පිළිබඳව අපි සාකච්ඡා වටයකට එළඹුනා. මෙතනින් ඉදිරියටත් මේ සාකච්ඡා වටය විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන වල පළිබෝධනාශක නිර්දේශ කරන ආයතන ප්‍රධානීන් මෙන්ම ඒ හා සම්බන්ධ වන විද්‍යාඥයිනුත් එක්ක එකතු වෙලා හොඳ සාකච්ඡා වටයකින් පසුව වඩාත් සාර්ථක අයුරින් මෙම පාරිසරික බලපෑම් සංගුණකය පළිබෝධනාශක නිර්දේශ කිරීමේදීත් පළිබෝධනාශක සාර්ථකව තෝරාගැනීමේත් වැදගත් වන අංගයක් ලෙසින් භාවිතා කිරීමට නුදුරු අනාගතයේදීම බලාපොරොත්තු වෙනවා.”

Want your business to be the top-listed Government Service in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Address


80/5, "Govijana Mandiraya", Rajamalwatta Lane
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00