22/05/2026
කුඩා තේ වතු ක්ෂේත්‍රයේ ඩිජිටල් හා පුනර්ජනනීය කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කර අධිකාරියට නිල වශයෙන් භාර දෙයි!
06 වන ආසියානු තේ සන්ධානයට සමගාමීව, කුඩා තේ වතු අංශයේ නව පෙරළියක් ඇති කරමින් ස්ථාපිත කරන ලද "පුනර්ජනනීය කෘෂිකර්මාන්ත ඩිජිටල් සම්පත් මධ්‍යස්ථාන" වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2026 මැයි 20 වන දින හන්තාන රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.
'Solidaridad' සහ 'Nucleus Foundation' යන ජාත්‍යන්තර ආයතනයන්හි පූර්ණ මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය යටතේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හන්තාන පුහුණු මධ්‍යස්ථානය, ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල (වලහන්දූව) ප්‍රාදේශීය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් මෙම නවීන ඩිජිටල් සම්පත් මධ්‍යස්ථානයන් සංවර්ධනය කර ඇත.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කුඩා තේ වතු අංශයේ ගුණාත්මක පුනරුදයක් ඇති කිරීම සහ කුඩා තේ වතු හිමියන් වෙත පුනර්ජනනීය කෘෂිකර්මය පිළිබඳ නව දැනුම සහ තාක්ෂණික අවබෝධය ලබාදීමයි. එමඟින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය මගින් සොයාගනු ලබන නව විද්‍යාත්මක දැනුම කෙටි කාලයක් තුළ කාර්යක්ෂමව ගොවි ජනතාව වෙත සන්නිවේදනය කිරීමද අපේක්ෂිතයි.
තවද, කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රතිපෝෂණ (Feedback) ලබාගැනීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේද භාවිතා කිරීම, මුද්‍රිත මාධ්‍ය භාවිතය අවම කර සමාජ මාධ්‍ය හරහා තාක්ෂණික දැනුම ව්‍යාප්ත කිරීම සහ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ (Training of Trainers) මධ්‍යස්ථානයක් ලෙස මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමද මෙහි අරමුණ වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත වැඩබලන තානාපති අයිවන් රුට්ජන්ස් (Iwan Rutjens) මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සභාපති නිමල් උඩුගම්පල මහතා ඇතුලු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් ද, Solidaridad ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය ශතදෘ චට්ටෝපාධායේ (Dr. Shatadru Chattopadhayay) මහතා ඇතුලු නියෝජිතයන්, ශ්‍රී ලංකා නියෝජිත මැලොරි ඩේවිඩ් (Malory David) මහතා, Nucleus Foundation අධ්‍යක්ෂ ඩේව් මොරිස් (Dave Morris) මහතා ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාවට එක්විය.
22/05/2026
2026 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් චීනයේදී පැවැත්වෙන ප්‍රධාන තේ දින සමළුවට සහභාගි වු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමළුව අමතයි.
ජාත්‍යන්තර තේ දිනය සමරමින් මැයි 21 දින චීනයේ ග්වංසි (Guangxi) හි නැන්නින් නගරයේදී ජාත්‍යන්තර තේ දින සමුළුවේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් දේශනයක් සිදු කල අතර එහිදි,වසර 150කට වැඩි කාලයක් පුරා, සිලෝන් ටී ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා රැගෙන යමින්, ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ විශ්වාසය මැනවින් නිරූපණය කර ඇත. අද වන විට, බොහෝ ගෝලීය ආර්ථික සහ පාරිසරික අභියෝග මධ්‍යයේ වුවද, තේ වගා කරන ප්‍රජාවන්ගේ යහපැවැත්ම, සදාචාරාත්මක නිෂ්පාදනය සහ තිරසාරභාවය තහවුරු කරමින් උසස් තත්ත්වයේ ගුණාත්මක තේ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බවට එහිදි අවධාරණය කරන ලදි.
ඉන් අනතුරුව, චීනයේ ග්වංසි (Guangxi) හි නැන්නින් නගරයේදී ජාත්‍යන්තර තේ දින සමළුවට සමගාමිව පැවති තේ නිෂ්පාදනය කරනු ලබන රටවල් හි තේ වෙළඳ ප්‍රදර්ශනයක් සඳහා ද අමාත්‍යවරයා සහභාගි විය.
මෙම අවස්ථාවට ජාත්‍යාන්තර තේ කර්මාන්තයේ නියැලි සිටින කාම්බෝජියා, කෙන්නියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වල තේ කර්මාන්තය නියෝජනය කරමින් තේ කර්මාන්තයට සම්බන්ධ විවිධ පාර්ශවකරුවන් ද, එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයන් සහ චීනයේ ග්වංසි ජුවන්ග් ස්වයංපාලන පළාත් උප ආණ්ඩුකාරතුමා, ග්වංසි ජුවන්ග් ස්වයංපාලන පළාත් ජනතා රජයේ නියෝජ්‍ය මහ ලේකම්තුමා,ස්වයංපාලන පළාත් කෘෂිකර්ම සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ පක්ෂ නායකත්ව කණ්ඩායමේ ලේකම්තුමා ඇතුලු තේ පාර්ශව කරුවන් රැසක් සම්බන්ධ විය.
19/05/2026
රජයේ සංවර්ධන ඉලක්ක සපුරාලීමට වසර 7කට පසු රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 41ක් බඳවා ගනී.
ශ්‍රී ලංකාවේ රබර් වගා ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා අලුතින් බඳවා ගත් නව රබර් සංවර්ධන නිලධාරීන් 41 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (18) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ සිදු කෙරුණු මෙම බඳවා ගැනීම, මෙරට රබර් වැවිලි ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2019 වසරෙන් පසුව, එනම් වසර 7ක පමණ දීර්ඝ කාලයකින් පසු රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එකවර මෙවැනි විශාල නිලධාරීන් පිරිසක් බඳවා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
දීර්ඝ කාලයක සිට රබර් වගා ක්ෂේත්‍රයේ පැවති නිලධාරී හිඟයට පිළියම් යොදමින් මෙලෙස බඳවා ගන්නා ලද නවක නිලධාරීන් පිරිස, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල 05 ක සේවා කටයුතු ශක්තිමත් කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම නව නිලධාරීන්ගේ පැමිණීම දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වන බවයි.
"රබර් ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිවැරදිව හඳුනාගෙන, ගොවි ජනතාවට අවශ්‍ය සේවාවන් කඩිනමින් ලබා දීමට මෙමඟින් හැකියාව ලැබෙනවා. අපේ රටේ වැවිලි ක්ෂේත්‍රය ඊළඟ මට්ටමට ඔසවා තැබීම සඳහා මෙවැනි අලුත් අදහස් සහ නව ජවයක් සහිත තරුණ පිරිසකගේ දායකත්වය අත්‍යවශ්‍යයි."
රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම පිළිබඳව වැඩිදුරටත් අවධාරණය කළ අමාත්‍යවරයා, කාර්යාලීය පුටුවලට පමණක් සීමා නොවී, ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලුවලට සංවේදීව විසඳුම් ලබා දෙන ක්‍රියාශීලී නිලධාරී පිරිසකගේ අවශ්‍යතාව රටට පවතින බව පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවය යනු පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා කටයුතු කරන ස්ථානයක් නොවන බවත්, මහජන සේවය පෙරදැරි කරගනිමින් රටේ නව සංවර්ධන ගමන වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට සියලුම නවක නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව, සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම ලකුණු ලැබූ සුදුසුකම්ලත් 41 දෙනෙකු වෙනුවෙන් පමණක් ලබා දී තිබීම විශේෂත්වයකි. නව රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම සුදුසුකම්ලත් නව නිලධාරීන්ගෙන් උපරිම දායකත්වයක් සහ ප්‍රතිඵලයක් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
18/05/2026
වසර 7කට පසු රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 41ක්.
ශ්‍රී ලංකාවේ රබර් වගා ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයීය මඟපෙන්වීම යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට නව රබර් සංවර්ධන නිලධාරීන් 41 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා ඇත.
මෙම නවක නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එළඹෙන මැයි මස 18 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි සිදු කිරීමට නියමිතය.
21/04/2026
පොල් නාස්තිය අවම කරමු, ඇසුරුම් කල පොල් නිෂ්පාදන වලට හුරු වෙමු!
පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයක්
21/04/2026
පොල් කර්මාන්තයේ පුනරුදයට නව නිලධාරීන් 56 දෙනෙකුට පත්වීම්.
පොල් වගාව සහ පොල් කර්මාන්තය නවීකරණය කරමින් ශක්තිමත් කිරීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ද්විත්වයක දීර්ඝ කාලයක් පුරා පුරප්පාඩු වී තිබූ තනතුරු 56ක් සඳහා නවක නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (20) දින සිදු කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මෙම උත්සවයේදී පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය යන ආයතන වෙත මෙම පත්වීම්ලාභීන් අනුයුක්ත කරන ලදී.
දිගුකාලීනව පැවති මානව සම්පත් හිඟය පිරවීම තුළින් පොල් ක්ෂේත්‍රයේ පරිපාලන, තාක්ෂණික සහ ක්ෂේත්‍ර මට්ටමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය. ඒ අනුව අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශිය කළමණාකරු, ව්‍යාප්ත නිළධාරි, පර්යේෂණාගාර සහායක, කාර්මික සහකාර, ක්ෂේත්‍ර නිළධාරි, ගොවිපල සැලසුම් නිළධාරි ඇතුළු පුරප්පාඩු වූ තනතුරු රැසක් සම්පූර්ණ කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේ, නවක නිලධාරීන්ගේ මැදිහත්වීම මත ආයතනික ධාරිතාව වර්ධනය කරමින් වගාකරුවන් සහ කර්මාන්තකරුවන් වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමටත්, රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමේ අරමුණක් සහිතව අද දින මෙම පත්වීම් ලැබු සියලු දෙනා අදිටන් කරගත යුතු බවත්ය.
තවද අමාත්‍යාංශය විසින් ඉලක්ක කර ඇති සංවර්ධන ඉලක්කයන් වෙත කඩිනමින් ළඟා කරගැනිමටත්, “කප්තුරු සවිය” වැනි පොල් සංවර්ධන වැඩසටහන යටතේ පොල් වගාව සහ කර්මාන්තය වෙනුවෙන් සිදු කෙරෙන වේගවත් සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම මෙහි අරමුණ බවත් ය.
මෙම අවස්තාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශ නිළධාරින්, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ඇතුලු නිළධාරින්, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා ඇතුලු නිළධාරින් පිරිසක් හා නවක නිළධාරින් සම්බන්ධ විය.