04/02/2026
👉 කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වගේ වීරයන්ගේ නම් අපි හැමෝම අහලා තියනවා. හැබැයි පරණගම නිළමේ , සූරියබණ්ඩාර පරණගම නිලමේ, ස්වර්ණපාලී පරණගම කුමාරිහාමි, කොබ්බෑකඩුව, ගලගොඩ, මොල්ලිගොඩ, කණ්ඩක්කුලම , බුලංකුලම, ඉලංගසිංහ , ඩේවිඩ්, කුමාරස්වාමි, රත්මලේ උන්නාන්සේ වගේ වීරයන්ගේ නම් අපි හුග දෙනෙක් අහලාවත් නැහැ.
👉 1818 නිදහස් සටන සහ 1848 නිදහස් සටන ගැන අපි හැමෝම අහලා තියනවා. හැබැයි මේ සුප්‍රකට සටන් දෙක අතර මැද තිබුණු අවුරුදු 33ක කාල වකවානුව තුළ අපේ රටේ තවත් අප්‍රකට අරගල හතක් දියත් වෙලා තියනවා. ඒවා ගැන අපි බොහෝ දෙනෙක් අහලා නැහැ.
👉 එතකොට මේ කියන්න හදන්නේ පෘතුගීසි , ලංදේසී සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ලංකාව තුළ දියත් වූ අප්‍රකට නිදහස් අරගල කිහිපයක් ගැන. මේවා 1818 හෝ 1848 අරගලය තරම් ප්‍රබලව ව්‍යාප්ත වූ සටන් නොවෙයි. මේවා සාපේක්ෂව පුංචි පුංචි සටන්. හැබැයි ඒ හැම එකේම අරමුණ වුණේ බ්‍රිතාන්‍ය පාලනය පෙරළා දැමීම. ඒ වෙනුවෙන් අපේ මිනිස්සුන්ට ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා.
👉අද ලංකාවේ ජාතික නිදහස් දිනය. නිදහස ගැන කතා කිරීමේදී ලංකාවේ තිබෙන්නේ අරගල නොකර දිනාගත්ත නිදහසක් කියන එකත් සමහරු කියන කතාවක්. ඒ අය මේ ඉතිහාසය ගැන දැනුවත්ව සිටීම වැදගත්.
#සිංහලේ #නිදහස් #අරගල
(1562 සිට 1948 දක්වා )
1.) 1562 මුල්ලේරියා සටන...
ක්‍රි. ව. 1551 සිට 1597 තෙක් වූ ධර්මපාල රජු ගේ රාජ්‍ය පාලන සමය හෙළයිනට හිතකර නොවූයේ ඔහු ඒ වන විටත් පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්ව සිටි නිසාවෙනි. එහෙත් නොසිතූ මොහොතක සිංහල ලේ කුපිත වූයේය. ඒ, එකල මහ සඟ රුවනක් වූ 'බුද්ධ වංශ' තෙරුණ්ගේ රණ හඬින් පිබිද රට දැය සුරැකීමට කටයුතු කළ භික්ෂූණ් වහන්සේලා 30 නමක් පෘතුගීසීන් විසින් ඝාතනය කරනු ලැබූ නිසාවෙනි. ඊට පළි ගැනීමක් වශයෙන් 1562 දී සීතාවක මායා දුන්නේ රජු තම පුත් ටිකිරි කුමරු (සෙන්පති), පනාපිටිය මුදලි, වික්‍රමසිංහ මුදලි ඇතුළුව හමුදා සේනාංක 3කින් ගොස් කෝට්ටේ පෘතුගීසි යටත් ප්‍රදේශ වටලා සටන් කොට මුල්ලේරියා වෙලේදී දොන් ජෝර්ජ් මෙනසස්ගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරමින් රට එක් සේසත් කළේය.
මෙම සටන රාජාවලියේ මෙසේ සඳහන් වේ:
''රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොස් ප්‍රතිකාල් සේනාව මැදට පැන්නාහ. පස්ස පොරොන්තුවෙන් ගිය හමුදාව යුද්ධ කරනා විට වීරහස්ති ඇතා කොඩියක් ගතිය. ඓරාවණයා කියන ඇතා දම්වැලක් ගතිය. රාජසිංහ රජු අසු පිටට පැන නැඟී මහා සේනාවට පස්සට වෙන්ඩ හැර ප්‍රතිකාලුන් මැදට වැද අසු මෙහෙය වීය.
ඇත් අස් සෙනඟ එකට කලබැගෑනිව ප්‍රතිකාලුන්ට තුවක්කුවලට වෙඩි බේත් දමන්ට ඉඩ නොදී කොටන විට පලිස්කාරයෝ ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටූහ. තුවක්කු වලින් ගසා ප්‍රතිකානෝ පලිස්කාරයෝ මැරුවාහ. රාජසිංහ රජු අසු විහිදුවා සේනාව වටකර දුවවමින් යුද ගිනි කෙළි කෙළ කොටන බිම දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්න නෑර කොටා ජය ගතිය. එක් දහස් පන්සියයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවෙන් කීප දෙනෙකුත් වෙල මැද වැටුණාහ''
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා (ජන කවි)
2.) 1594 දන්තුරේ සටන.....
ක්‍රි. ව. 1591 වන විට සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකාරකම් නිසා උඩරටට නෑකම් කියූ යමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්), කොනප්පු බණ්‌ඩාර (දොන් ජෝන්), කුසුමාසන දේවිය (දොන් කැත්‍රිනා) ඇතුළු පිරිසක් බෞතීෂ්මව පෘතුගීසී ආරක්‍ෂාව යටතේ රැකවරණ ලැබීය. නමුදු පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමාරයාට රජකම දීම පිළිබඳව කිපුණු දොන් ජෝන් කුමාරයා පිලිප් රජු මරා විමලධර්මසූරිය නමින් රජ විය. ඒ හේතුවෙන් පෘතුගීසීහු සහ විමලධර්මසූරිය රජු අතර විටින් විට සටන් ඇවිලෙනු අතර 1594දී දන්තුරේදී ඇතිවූ මහ සටනින් සිංහල හමුදාවන් අතින් පෙඩ්රෝ ලෝපෙස්‌ද සූසා ඇතුළු පෘතුගීසි හමුදාව යළිත් වරක් සමූල ඝාතනය විය.
"වර්ෂ 1594 ක් වූ ඔක්‌තෝබර් මස 06 දින ප්‍රතිකාල් සේනාව බලන අසල ලන්දකට පැමිණියාය. ඒ කණහිම සක්‌හඩද හේවිසි ගැසීමක්‌ද හාත්පස්‌හි පැතිරින. ඒ අසල මාන බලමින් සිටි විමලධර්මසූරිය රජුගේ විශාල යුද හමුදාව ප්‍රතිකාලුන්ට පහර දෙන්නට පටන් ගත්තීය. සිංහලයන්ගේ ඊතල සහ වෙඩි උණ්‌ඩ ප්‍රචණ්‌ඩ වාත මේඝයකින් මෙන් ප්‍රතිකාල් සෙන් මත්තෙහි පතිත වන්නට වන" (මහා වංශය)
3.) 1603 (බලන සටන)...
විමලධර්මසූරිය රජුට වැඩි කලක් සාමකාමීව රාජ්‍යය කරගෙන යාමට පෘතුගීසීහු ඉඩ නොදුන්හ. 1602දී ජෙනරාල් ජෙරනිමෝද අසවේදු නායකත්වයෙන් යුත් පෘතුගීසි හමුදාවෝ බුද්දස්ගොඩ, අළුත්නුවර සහ ගනේතැන්න බලකොටු අල්ලා ගනිමින් යලි යලිත් සටන් දියත් කරන්නට විය. සිංහල හමුදාවන් පසු බසින්නට වූයේ අවස්ථාව එන තුරුය. එදින 1603 ජනවාරි 18 වැනිදායි. දඹදෙණියට හා හාරිස්පත්තුවට සතුරු හමුදා පහර දෙන බැව් සැලවීමත් සමග සේතුපාල බණ්ඩාර සෙනෙවියා මහනුවරින් සේනාංකයක් රැගෙන ගොස් ඊට ප්‍රති ප්‍රහාර දුන්නේය.
බලන කොටුවේ සිට තම සේනාංක මෙහෙයවූ විමලධර්මසූරිය රජු යළිත් පසු බැස්සේය. පෘතුගීසීහු උදම් අනන්නට විය. දින කීපයකට පසු 1603 පෙබරවාරි 2වන දින අළුයම බලන කොටුවට නොනවත්වා පහර එල්ල වන්නට විය. කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අස්වේදු කොළඹ කොටුවට පැනගත්තේය. කටුගම්පොල, අට්ටාපිටිය, රක්ගහවත්ත ඇතුළුව පෘතුගීසි යටත් ප්‍රෙද්ශ සිංහල හමුදාවන් ජය ගනිද්දී කාන්ගරආරච්චි සෙනෙවියා මීගමුව බළකොටුවද තම අණසකට යටත් කොට ගෙන තිබිණි.
4.) 1630 (රන්දෙනිවල සටන)....
විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වූයේ ඔහුගේම සොහොයුරෙකු වූ සෙනරත් රජුය. 1617දී සෙනරත් රජු හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක් ඇති විය. නමුදු 1618දී ජෙනරාල් වශයෙන් පත්ව ආ කොන්ස්‌තන්තතීනු ද සා 1627, 1628 වර්ෂයන් හිදී උඩරට ආක්‍රමණය කොට මහත් හානි සිදු කළේය. 1630 අගෝස්‌තු මස මුල් සතියේ ද සා පෘතුගීසි සොල්දාදුවන් 508කින් සහ සිංහල හේවායන් 5000 කින් සමන්විත හමුදාවක් සමඟ බදුල්ලට ඇතුළු වූහ. පෙර සූදානම්ව සිටි සෙනරත් රජුගේ සිංහල සේනාවන් ගරිල්ලා ප්‍රහාරයන් දියත් කළේය.
නොසිතූ මොහාතක එල්ල වූ ප්‍රහාරයන්ගෙන් හෙම්බත් වූ පෘතුගීසී හමුදාවෝ අවසානයේ වැල්ලවාය, රන්දෙණිවලට පැමිණියහ. එදින 1630 අගෝස්‌තු මස 20වැනි දිනයි. සිංහල හේවායිනට ස්වභාවධර්මයේද ආශීර්වාදය ලැබිණි. මහ වැසි ඇද හැලී පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් තෙත් වී තුවක්‌කු පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය. සිංහල හමුදාවන් නොනවත්වා දියත් කළ ප්‍රහාර නිසාවෙන් පෘතුග්‍රීසීන් 350ක් පමණ මැරුම් කෑහ. කොන්ස්‌තන්තතීනු ද සා ද වෙඩි වැදී මරුමුවට පත්විය. උඩරට රාජධානිය යළිත් සිංහලයින් සතු විය.
5.) 1638 (ගන්නොරුව සටන)....
මෙවකට ලක්දිව රජකම හෙබ වූයේ 2 වැනි රාජසිංහ රජුය. එතුමා පෘතුගීසීන් වෙත යැවූ සාම ලිපි තඹ දොයිතුවකට ගණන් නොගත් ඔවුහු යළිත් අප රට ආක්‍රමණය කිරීමට කටයුතු සම්පාදනය කළේය. අවසන් හුස්ම පොද තෙක්ම සටන් කිරීමට සිංහල හමුදාවෝ පෙළ ගැසෙද්දී පන්දහසක ලස්කිරිඤ්ඤ හමුදාවක් පෘතුගීසීන්ට එක්ව සිටියහ. 1638 මාර්තු 26වැනි දින අට්ටාපිටියෙන් තම අවසන් ගමන පිටත් වූ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝ ප‍්‍රමුඛ පෘතුගීසි හමුදාව කිසිදු අභියෝගයකින් තොරව මහනුවරට පැමිණියද මුල්ගම්පොල හා දෙයියන්නේවෙලදී ඔවුනට සිංහල හමුදාවන්ට මුහුණ දීමට සිදු විය.
සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයන් හමුවේ මහවැලි ගඟ තරණය කර ගැනීමට නොහැකි වූ පෘතුගීසි හමුදාවෝ ගන්නෝරුවෙහි කඳවුරු බැඳ ගත්හ. 1638 මාර්තු මස 28වැනි දින උදාවිය. අළුයමින්ම දියත් වූ සිහල ප්‍රහාරයන්ගේ ප්‍රථිඵලය වූයේ හිරු කිරණ මහ පොළව සිප ගනිද්දී කපිතාන් ජෙනරාල් දියෝගුද මේලොද කැස්ත්‍රෝ සහ කපිතාන් මේජර් දම්යාන් බොතාදු ඇතුළු 2500ක පෘතුගීසි හමුදාවෝ නිරුද්ධ ප්‍රාණයන්ගෙන් යුතුව මහ පොළව සිප ගෙන සිටීමයි.
6.)1818 (වෙල්ලස්ස සටන)...
1815 මාර්තු 2වැනිදා ඉංග‍්‍රීසින්ට ලංකාවේ බලය අත්පත් වුවද කෙටි කාලයක් යාමටත් මත්තෙන් ඔවුහු ගිවිසුමේ පොරොන්දු කඩ කරමින්, බදු පනවමින් මෙරට සම්පත් හා ශ‍්‍රමය සූරා කන්නට විය. ඉංග‍්‍රීසින් ක‍්‍රිස්තු භක්තිකයන් බැවින් භික්ෂූන් වහන්සේලා සහ බුදුසසුන දිනෙන් දින අපහාසයට ලක් වන්නට විය. වසර 180කට පසු යළිත් සිංහල ලේ කුපිත වන්නට විය. දොරේසාමි වැදි හමුදාවක් සමඟ වෙල්ලස්සට සමිප‍්‍රාප්ත වූයේය. බූටෑවේ රටේරාල , ගලගොඩ නිළමේතුමන්, ඇතුළු සිංහල ජන කොටස්ද දොරේසාමි ඇතුළු පිරිස සමඟ එක් වූහ. ඒ අතර තුර මෙම සිංහල පිබිදීමට එරෙහි වන්නට ආ බදුල්ලේ ඒජන්ත වූ විල්සන් ලූතිනන් සිංහල සටන්කරුවන්ගේ හී පහරකින් මරුමුවට පත්විය. වෙල්ලස්සේ සටන ඇවිලිණි. ඉංග්‍රීසීන්ට වැරදුනේ එතැනය. සටන මැඩ පැවැත්වීමට ඔවුහු එවූයේද සිංහලයෙකි. ඔහු නමින් මොණරවිල කැප්පෙටිපොල විය. කැප්පෙටිපොල දිසාවේ සිංහල හමුදා අත්අඩංගුවට පත්වූ අතර ඔහු රදල නිළමේ වරයෙක් නිසා සිංහල හමුදාව ඔහුව ඝාතනය නොකොට බූටෑවේ රටේරාල හමුවට පමුණවන ලදී, හමුවූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කර ඔහුට එක්කෝ සිංහල හමුදාව හා එක්වන ලෙස හෝ නැතිනම් තම අසිපතින් ගෙල සිඳගෙන සියදිවි නසාගැනීම හෝ විකල්ප තීරණයන් ගෙන හැර දුන් අතර එහි ප්‍රථීඵලයක් ලෙසින් තමන් කැටුව ආ ඉංග්‍රීසි හමුදාව යළි හරවා යැවූ කැප්පෙටිපොළ වීරයා 1817 නොවැම්බර් 1වැනි දින අළුපොත දී හෙළයිනගේ කැරැල්ලට එක් විය.
දිගින් දිගටම සටන් ඇවිලෙන්නට විය. සටන්කරුවන්ගේ බරපතල පහරදීම් වලින් බැටකෑ ඉංග‍්‍රීසි හමුදාවෝ වියරුවෙන් මෙන් උඩරට ගම්බිම් වනසන්නට විය. වතුපිටි, ඉඩකඩම් කොල්ල කෑහ. වෙල්ලස්සේ වෙල් එක රැයකින් අළු දූලි බවට පත් කළහ. කුඩා දරුවන්, කාන්තාවන්, තරුණ තරුණියන් කපාකොටා ඝාතනය කරමින් අමානුෂික මෙහෙයුමක් දියත් කළේය. සිවිල් ජනයා නිකරුණේ මරු වැළද ගනු දුටු කැරැල්ලේ නායකයිනට සිදුවූයේ සටන අත්හැර දැමීමටය. නොඑසේ නම් නිවට ඉංග්‍රීසි හමුදාවෝ අතින් තව තවත් සිවිල් ජනයා නිස්කාරණේ ඝාතනය වනු ඇත. සිංහල හමුදාවන් සටන් ලිහිල් කළහ. කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තෝබර් 28 වැනිදා නුවර කලාවියේ පරවහගම දී ලූතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි භට පිරිසකගේ අත්තඩංගුවට පත්විය. 1818 නොවැම්බර් 2වන දින උදාවිය. හෝරා කිහිපයක් ප්‍රමාද වීදී හිරු පායද්දී බෝගම්බර පිටිය සිංහල ලෙයින් තෙත්ව ගොස් හමාරය. කැප්පෙටිපොල වීරයාගේ හිස කඳින් වෙන්වූයේ මුළු මහත් ජාතියේම නෙත් අග කදුළු පුරවමිනි.
7. ) 1820 ජනවාරි සටන
1815 සහ 1848 සුප්‍රකට සටන් දෙක අතර දියත් වූ පළමු අප්‍රකට නිදහස් සටන දියත් වුණේ 1820 වසරේ ජනවාරියේ. මේ සටන පටන් අරගෙන තියෙන්නේ ඌව බින්තැන්න ප්‍රදේශයෙන්. ඌව වෙල්ලස්ස සටනට වගේම මේ සටනටත් වැදි ජනතාව දහස් ගණනක් සම්බන්ධ වී තිබෙනවා. එතකොට මේ සටනේ රාජ ප්‍රතිරූපකයා වුණේ කුමාරස්වාමි කියලා කෙනෙක්. එතකොට ගණේගොඩ කියන දිසාවේවරයා විසින් සිදුකළ පාවාදීමක් නිසා මේ සටන ගැන ඉංග්‍රීසීන්ට කරුණු වාර්තා වෙනවා. ඒ අනුව 1820 ජනවාරි 12 වැනිදා මේ කුමාරස්වාමි කියන පුද්ගලයාව අල්ලාගෙන, නඩු අහලා ඔහුට මරණ දඬුවම නියම කරනවා. හැබැයි පස්සේ මරණ දඬුවම වෙනස් කරලා කුමාරස්වාමිව ජීවිතාන්තය දක්වා මුරුසියට පිටුවහල් කරනවා. ඉතින් මේ කුමාරස්වාමි කියන්නේ නිදහස වෙනුවෙන් එහෙම කැපකිරීමක් කළ කෙනෙක්. හැබැයි අපි කවුරුත් ඔහු ගැන දන්නේ නැහැ.
8.) 1820 ඔක්තෝබර් සටන
1820 අවුරුද්දේම මාතලේ ප්‍රදේශයේ තවත් නිදහස් සටනක් දියත් වී තිබෙනවා. මේ සටනට මුල් වුණේ 1818 අරගලයටත් සම්බන්ධ කොබ්බෑකඩුව කියන නිළමේතුමන්,. කොබ්බෑකඩුවට අමතරව, පරණගම ලොකුනිළමේ, කොස්වත්තේ රටේ රාළ සහ හල්මිල්ලෑවැව උන්නාස්සේ කියන භික්ෂුව ඇතුළු ගිහි පැවිදි පිරිසක් මේ සටනට නායකත්වය දීලා තියනවා. හැබැයි මේ සටන පැතිරුණු සටනක් දක්වා වර්ධනය වෙන්න කලින්ම කොබ්බෑකඩුව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසීන් සමත් වෙලා තියනවා. පසුව 1820 ඔක්තෝබර් 29 වැනිදා කොබ්බෑකඩුව ඇතුළු සටනේ නායකයන් එල්ලා මරා දැමීම සිදුවෙනවා. ඉතින් ඒ අනුව මේ කොබ්බෑකඩුව කියන්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් ජීවිතය දීපු තවත් අප්‍රකට වීරයෙක්. එතකොට මේ සටන්වල විශේෂත්වය තමයි මේ සටන් දෙකම බ්‍රිතාන්‍යයින් 1818දී පැනවූ යුද්ධ නීතිය අවලංගු කිරීමට පෙර දියත් වූ සටන් වීම. 1821 ජනවාරි 3 වෙනිදා තමයි බ්‍රිතාන්‍යයින් මේ යුද්ධ නීතිය අවලංගු කරන්නේ.
9.) 1823 පෙබරවාරි සටන
1823 අවුරුද්දේ පෙබරවාරි මාසේ නුවරකලාවිය ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් මතු වෙලා තියනවා. නුවරකලාවිය කියන්නේ වර්තමාන අනුරාධපුර ප්‍රදේශය. අනුරාධපුරයේ තිබෙන නුවර වැව, කලා වැව සහ පදවිය වැව කියන වැව් තුනේ නම්වලින් තමයි නුවරකලාවිය කියන නම හැදිලා තියෙන්නේ. මේ සටනේ නායකයා රත්මලේ උන්නාන්සේ කියලා භික්ෂූන් වහන්සේ නමක්. කණ්ඩක්කුලම , ඉලංගසිංහ, බුලංකුලම යන අයද මෙම සටනට සම්බන්ද වූ අය වේ. වැඩිදුර යන්න කලින් මේ සටන මර්දනය කරලා රත්මලේ උන්නාන්සේ අත්අඩංගුවට ගන්න බ්‍රිතාන්‍ය හමුදා සමත් වෙනවා.
10.) 1823 මැයි සටන
මීළඟට 1823 අවුරුද්දේම මැයි මාසයේ මාතලේ ප්‍රදේශයෙන් තවත් නිදහස් සටනක් ගැන අහන්න ලැබෙනවා. මේ සටනේ ප්‍රධාන නායකයන් දෙන්නෙක් තමයි කහවත්තේ උන්නාන්සේ සහ කොස්වත්තේ රටේ රාළ. පස්සේ 1823 අගෝස්තු 5 වෙනිදා මේ දෙන්නාවම එල්ලා මරනවා. මේ සටනත් පටන් ගන්න කොටම මර්දනය කෙරෙනවා. එතෙන්දි 29 දෙනෙක් රාජද්‍රෝහී චෝදනාවලට වැරදි කරුවෝ වෙනවා. ඒ අතරින් මම කලින් කිව් දෙන්නා එල්ලා මරනවා. 13 දෙනෙක් ජීවිතාන්තය දක්වා රටින් පිටුවහල් කෙරෙනවා. තව කිහිප දෙනෙකුට කස පහර සහ වසර කිපයක සිර දඩුවම් ලැබෙනවා. මේ සටනේ විශේෂත්වයක් තමයි මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි ඉන්දියානු ජාතිකයෙක් වීම. ඔහුගේ නම ක්‍රිෂ්ණා හෙට්ටි. ඔහුට මේ සටනෙදි සිර දඬුවමක් තමයි ලැබෙන්නේ. මේක අද අපට පුංචි කතාවක් වුණාට මේ සටනට දායක වුණ අයට තමන්ගේ මුළු ජීවිතයම අහිමි වෙනවා. එල්ලා මැරුවේ දෙන්නෙක් විතරයි වුණාට 13 දෙනෙක් ජීවිතාන්තය තෙක් රටින් පිටුවහල් වෙනවා. ඒකත් මරණය වගේම ජීවිත අහිමි වීමක් තමයි. හැබැයි මේ වීරයෝ ගැන අපි කවුරුත් අහලා නෑ.
11.) 1824 අගෝස්තු සටන
මේ සටනින් අවුරුද්දකට පස්සේ 1824 අගෝස්තු මාසයේ තවත් නිදහස් සටනක තොරතුරු අපට අහන්න ලැබෙනවා. මේකට නායකත්වය දීලා තිබෙන්නෙත් භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඊට අමතරව, නෙල්ලියේ පුංචි රාල සහ වන්නකු රාලගේ පුංචි රාල කියන දෙදෙනා ඇතුලු පිරිසක් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. ආයුධ සන්නද්ද වැදි ජනතාව ඇතුළු පන්සීයක විතර පිරිසක් තමයි මේ සටන පටන් අරගෙන තියෙන්නේ. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා හාරිස්පත්තුවේ සෙව්රාල කියලා කෙනෙක්. ඉංග්‍රීසි හමුදා මේ සටන මර්දනය කිරීමේදී විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අතරින් 50 දෙනෙකුට මරණ දඩුවම ලැබෙනවා. අනිත් අයට සිර දඬුවම් ඇතුළු විවිධ මට්ටමේ දඬුවම් හිමිවෙනවා.
12.) 1843 බ්‍රිතාන්‍ය විරෝධී කුමන්ත්‍රණය
1834 අවුරුද්දේ අපට තවත් වෙනස් විදිහේ සටනක් ගැන අහන්න ලැබෙනවා. මේකට මූලික වෙලා තියෙන්නේ මොල්ලිගොඩ කියන උඩරට නායකයා. ඔහු 1818 සටනේදී ඉංග්‍රීසීන්ගේ ජයග්‍රහණයට උදව් කරලා ඒ වෙනුවෙන් විශාල වරප්‍රසාද ලබමින් සිටි කෙනෙක්. ඔහු තමයි මේකට මුල් වෙන්නේ. මේක ඇත්තටම සටනකට වඩා ඉංග්‍රීසි පාලනය පෙරලා දැමීමට දියත් කළ සූක්ෂ්ම කුමන්ත්‍රණයක්. මෙතෙන්දි ඔවුන් කළ දේ තමයි ඉංග්‍රීසි නිලධාරීන් සාදයකට කැඳවලා ඔවුන්ට වස දීලා ඝාතනයට ලක් කරන එක. මෙතෙන්දි ඉංග්‍රීසි පාලනය පෙරළා දැමීමට ප්‍රංශයෙන් ආධාර ලබාගන්නත් මොල්ලිගොඩ සැලසුම් කරලා තියනවා. හැබයි ඉංග්‍රීසීන්ට කල් තියා මේ සැලසුම ගැන තොරතුරු අනාවරණය වෙනවා. ඒ අනුව මොල්ලිගොඩ ඇතුළු සිය දෙනෙක් අත්අඩංගුවට අරගෙන නඩු පවරනවා. හැබැයි පසුව ඔවුන් මේ නඩුවෙන් නිදහස් වෙලා තිබෙනවා.
13.) 1843 සටන
මෙතෙක් පෙන්වා දුන් අප්‍රකට නිදහස් අරගලවල අවසාන සටන වාර්තා වෙන්නේ 1843 දුම්බර ප්‍රදේශයෙන්. මේ සටනේ රාජ ප්‍රතිරූපකයා ඩේවිඩ් කියලා කෙනෙක්. මේ සටන පටන් ගන්න කලින්ම මේකට නායකත්වය දීපු දීනිස්, ඩේවිඩ්, ඩිංගිරාල, චන්ද්‍රගුප්ත, සීලවංශ සහ සරණංකර කියන භික්ෂූව අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසින් සමත් වෙලා තියනවා. මෙතෙන්දි රාජ ප්‍රතිරූපකයාව එල්ලා මරන්න තීරණය වුණත් පස්සේ ඒක අවුරුදු 14ක සිර දඬුවමකට සීමා වෙනවා. අනිත් අයට විවිධ මට්ටමේ සිර දඬුවම් ලැබෙනවා.
මේවා තමයි 1818 සහ 1848 කියන කාල වකවානු අතර අපේ රටේ දියත් වූ අප්‍රකට නිදහස් අරගල.
14.) 1848 පරණගම සටන හෙවත් මාතලේ කැරැල්ල. ( මහතලා හටන )
මෙය වර්ෂ 1847 මාතලේ පරණගම ග්‍රාමයෙන් ආරම්භ වූ අතර මෙහි නායකත්වය පරණගම ලොකුනිළමේටුමන්, ඔහුගේ පුත් සූරිය බණ්ඩාර පරණගම නිළමේ තුමන්, දියණිය වූ ස්වර්ණපාලි පරණගම කුමාරිහාමී විසින් නායකත්වය දුන් අතර මෙයට පසුව ගොංගාලේ ගොඩබණ්ඩා, දීනිස්, පුරන් අප්පු යන අය එක් වූ අතර, ගිංගාලේ ගොඩබණ්ඩාව රාජ ප්‍රතිරූපකයා ලෙස අභිෂේක ගන්වන ලද අතර, ආර්‍ය සිංහල රාජකීය උරුමය සහිත ලෙනව පරපුරට ඥාතී වූ සූරිය බණ්ඩාර පරණගම නිළමේ තුමන්ව සිංහලේ රජු වංශයෙන් අභිසෙස් ගැන්වීමට දින කිහිපයක් තිබියදී ඔහු ඇතුලු පිරිස ඉංග්‍රීසි හමුදා අත්අඩංගුවට පත්ව ඇත.
අද අපි කාටත් මේවා අමතක වෙලා තිබුණාට මේ අප්‍රකට අරගල වෙනුවෙන් අපේ රටේ විශාල පිරිසක් ජීවිත ඇතුළු බොහෝ දේවල් පරිත්‍යාග කළා.
✍️RLP
.......................................................................................
ආචාර්ය කුමාරි ජයවර්ධන විසින් රචනා කරපු Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries කියන පොතේ සහ ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කළ ලාංකේය ඉතිහාසය කියන වෙළුම් පහක ග්‍රන්ථයට මහාචාර්ය මාලනී ඇදගම විසින් සැපයූ ලිපියකත් මේ කරුණු ඇතුළත් වෙනවා, කේ.බී හේරත් මහතා විසින් රචිත තිරපිටපත් කරුණුද ඇතුලත්. වැඩි විස්තර අවශ්‍ය අයට ඒවා කියවා බලන්න පුළුවන්.
පාරම්පරික රදළවරු. Association Of Traditional Aristocrats
පාරම්පරික රදලවරු
1818 හෙළයේ විරුජන සංගමය

02/11/2025
28/10/2025
11/10/2025
11/10/2025
05/10/2025
21/09/2025
18/09/2025
21/07/2025
05/05/2025