16/10/2026
🔴 කියුබානු තානාපතිනිය සහ ඇමති රාමලිංගම් චන්ද්රසේකර් අතර හමුවක් - උතුරු පළාත් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක්
ශ්රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, අධ්යාපන හා සෞඛ්ය ක්ෂේත්රවල සහයෝගීතාව ව්යාප්ත කිරීම මෙන්ම ආර්ථික අභියෝගවලට මුහුණ දීමේදී ලැබූ අත්දැකීම් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ශ්රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්රීෂියා ලසාරා පෙගෝ ගෙවරා මහත්මිය සහ මෙරට නියෝජිත පිරිස අතර පැවැත්වුණා.
යාපනය පෞද්ගලික හෝටල් පරිශ්රයකදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කරුණානාදන් ඉලංකුමරන් සහ යාපනය මහා නගර සභා මන්ත්රී මෙන්ම දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධීකාරක සුන්දරමූර්ති කපිලන් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියා.
මෙහිදී කියුබාවේ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, 2022 වසරේදී ශ්රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර සහ පවතින ආර්ථික අභියෝග පිළිබඳවද අදහස් හුවමාරු කර ගැනුණා.
දෙරටම තමන් ලැබූ අත්දැකීම් බෙදාගනිමින්, අන්යෝන්ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අවස්ථා පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.
කියුබාවේ අධ්යාපන හා සෞඛ්ය ක්ෂේත්රවල අත්දැකීම් කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළා.
ආර්ථික අභියෝග හමුවේ වුවද නොමිලේ අධ්යාපනය ලබාදීමේ ක්රමය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කියුබාව ලැබූ අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන්ම වෛද්ය අධ්යාපනය සම්බන්ධයෙන් කියුබාව ලබා ඇති ප්රගතිය, විදේශීය සිසුන්ට හිමිවන උසස් අධ්යාපන අවස්ථා සහ ශ්රී ලාංකික සිසුන් සඳහා අධ්යාපනික සහයෝගීතාව ව්යාප්ත කිරීමේ හැකියාවන් පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්තා.
දැනට යාපනය ප්රදේශයේ සිසුන් තිදෙනෙකු කියුබාවේ වෛද්ය අධ්යාපනය ලබමින් සිටින බවද මෙහිදී පෙන්වා දුන්නා.
ඊට අමතරව, ශ්රී ලංකාවේ විශ්වවිද්යාල සහ කියුබානු විශ්වවිද්යාල අතර අධ්යාපනික, තාක්ෂණික හා භාෂාමය ක්ෂේත්රවල සබඳතා ගොඩනැගීම, ශිෂ්ය හා අධ්යයන කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් උනන්දු කරවීම සහ දෙරටේ අධ්යාපන ආයතන අතර සහයෝගීතාව ව්යාප්ත කිරීම පිළිබඳවද සාකච්ඡා කළා.
එසේම ශ්රී ලංකාවේ හඳුන්වා දීමට නියමිත අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.
එමෙන්ම, යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදය තුළ උතුරු පළාතේ සිදුකෙරෙන සාමාජීය හා ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳවද කියුබානු තානාපතිනිය දැනුවත් කිරීමට පියවර ගත්තා.
විශේෂයෙන්ම යාපනය විශ්වවිද්යාලයේ සංවර්ධනය, ප්රදේශයේ අධ්යාපනික අවස්ථා ඉහළ නැංවීම මෙන්ම උතුරු පළාතේ පාරම්පරික කර්මාන්තයක් වන තල් ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රය නූතනකරණය කර, එහි නිෂ්පාදන ධාරිතාව සහ ආර්ථික දායකත්වය ඉහළ නැංවීමට ගෙන ඇති උත්සාහයන් පිළිබඳවද විශේෂ අවධානය යොමු වුණා.
ශ්රී ලංකාව සහ කියුබාව අතර පවතින තිරසාර මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්යාපන, වෛද්ය, තාක්ෂණික හා ආර්ථික සංවර්ධන යන ක්ෂේත්රයන්හි අන්යෝන්ය අත්දැකීම් හුවමාරු කරගැනීමේ සහ සහයෝගීතාව ව්යාප්ත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම සාකච්ඡාව නිමාවට පත් කෙරුණා.
READ MORE >>> https://www.itnnews.lk/2026/10/16/840268/