29/12/2025
හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත සූරීන් විසින් මෙහෙයවන ලද හෙළ හවුලේ සිංහල පන්තිය 2025 දෙසැම්බර මස 27 වන දින අවසන් විය. මාස නවයකට ආසන්න කාලයක් බම්බලපිටිය සිරි වජිරාරාම පුස්තකාලයේ පැවැත්වුණු එම පංතියේ අවසන් දිනයේ සේයා රූ පහත දැක්වේ. මාස නවයක කලක් හෙළ බස නිවැරැදි ව භාවිත කරන්නට ගුරු-හරුකම් දුන් හෙළ හවුල් නයු ශ්‍රීනාත් ගණේවත්ත සූරීනට හා හෙළ හවුලට සිරි වජිරාරාම පුස්තකාලයේ කෘතඥ පූර්වක පුණ්‍යානුමෝදනා පළ කර සිටිමු.
හෙළ හවුල - Hela Havula
15/11/2025
2024 ජුලි මස 15 දිනට සියවසක් සපිරි බම්බලපිටිය සිරි වජිරාරාම පුස්තකාලය නවිකරණය කිරීමේ කාර්යය ආරම්භ වුයේ 2023 අගෝස්තු මාසයේ ය. පළමු කාර්යය වුයේ පරිගණක සූචිකරණයට අවශ්‍ය ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු රැස් කිරීමයි ඒ සඳහා සිරි වජිරාරාම සාසන සාවිකා සමිතියේ පින්වතියන් නිස්සාරණධ්‍යාසයෙන් සහාහගි වුණි. එහි ආරම්භය සිදු වු අයුරු පහත සේයා රූ මඟින් දිස්වේ.
29/10/2025
TDK පියසේන නම් දුලබ කලණ මිනිසා
( බම්බලපිටියේ සිරි වජිරාරාමයේ කළමනාකරු ලෙස දොළොස් වසරක් සසුන් වැඩ වැඩූ TDK පියසේන මහතාණන් ගේ වියොව නිමිත්තෙනි.)
පිරිසෙන් දහසෙකින් නොලැබෙන සුගුණ රුවින්
රුපුසෙන් නො ලැබ වැළැකී හිඳ නිබඳ පවින්
සුපසන් මහරු ගුණ සපිරූ මෙ අත්බවින්
පියසෙන් මැතිඳු යෙයි අද නික්ම මනු ලොවින්
වැඩ කළ හැම තැන ම ලැබ කිත් මල් පැසැසුම්
හඬ ඔබ නිහඬ වුව හැම මුවැ නැඟෙයි සුසුම්
සැඬ මරු සමඟ කොහි වෙ ද අල්ලස් ගිවිසුම්
තුඬ තුඬ නැඟේ හැම අතැ අද සෝ පැවැසුම්
සැදැහැව පිනට ළැදි බව පවට බිය කම
විදැහූ හැම විට ම රකිමින් බුදුනු කම
ඇදැහිය නොහැකි තරමට පෑ නොවක් කම
වැදැගත් උවසු රුවනෙකි රැකි කලණ දම
විදුරු අරමැ නෙක කිස මෙහෙයුම්කරු ව
නුදුරු වෙමින් සඟනට මහ බැති දැරු ව
සොඳුරු ගුණෙන් ලද හැම දන ගරුසරුව
කවුරු ඔබ අගය නො කරති නොමසුරු ව
පති දම් පතිනි දම් ගෙන යුග දිවිය සදා
සිතිවිලි සම ව සසරින් බැඳි සෙනෙහෙ පුදා
සතිමත් කමින් සතුටින් ගෙවු දිවිය එදා
නිති ඔබ දූවරුන් හට වෙයි පහන් මෙදා
පිය සන් රුවින් හරි යුතුකම කළ ඔබට
දවසෙන් දවස පින් දෙමු කෙළෙහි ගුණයට
මරසෙන් දිනූ බුදු හිමි දම් පසක් කොට
පියසෙන් මැතිඳු සැනැහේ ලැබ නිවන් තොට
මෙයට - සංවේගයට පත්,
සිරි වජිරාරාම කාර්යසාධක සමිතිය
සිරි වජිරාරාම සාසන සාවිකා සමිතිය
සිරි වජිරාරාම දහම් පාසල
2569/2025. 10. 29
27/10/2025
සිරි වජිරාරාම විහාරස්ථානයේ කාර්යාලයීය කළමනාකාරතුමා ලෙස වසර දොහළක පමණ දිගු කාලයක් ඉතා විශ්වාසනීය සේවයක යෙදුනු ටී. ඩී. කේ. පියසේන මහතා ගේ (ලියන මහතා )සසර ගමන සුවපත් වේවා !
21/10/2025
වසර 92ක් ආයු වළදා 2025 ඔක්තොම්බර් මස 11 වන දින වියෝවූ ඔලිවර් ගුණතිලක පියාණන්ට නිවන් සුව පිණිස ජිතේන්ද්‍ර ගුණතිලක මහාත්මා විසින් PTS ( Pali Text Society) ත්‍රිපිටක කට්ටලයක් 2025 ඔක්තොම්බර් මස 18 වන දින බම්බලපිටිය සිරි වජිරාරාම පුස්තකාලයට පරිත්‍යාග කැරිණි. මෙ ම මහනීය පරිත්‍යාගය වෙනුවෙන් සිරි වජිරාරාම පුස්තකාලයීය සංවර්ධන කමිටුව කෘතඥ පුර්වකව පුණ්‍යානුමෝදනා කරමි.
16/07/2025
සිරි වජිරාරාම පුස්තකාලයීය 101 වන සංවත්සර උළෙල 2025.
ජාතික පුස්තකාලයීය ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහාත්මා, අධ්‍යක්ෂ ඩබ්ලිව් සුනිල් මහාත්මා සහ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති සුගත් ගුණතිලක මහාත්මා ඇතුළු සම්භාවනීය ආරාධිත ආමුත්තන් රැසකගේ සපැමීණිමෙන් 2025 ජුලි මස 15 වන දින සිරි වජිරාරාම පුස්තකාලයේ බිම් මහලේ දී 101 වන සංවත්සර උළෙල පැවැත්වුණි. මේ එම අවස්ථාවේ සේයා රූ.
13/07/2025
සියවස් සමරු උළෙල සිරි වජිරාරාම පුස්තකාලය.
2024 ජුලි 14
29/06/2025
වජිරාරාමවාසී නාරද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "සදහම් මඟ" කෘති පෙළ ඔබ සතුව වේ නම් කාරුණාකර ඡායාරූපය සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. එසේ නැතිනම් එම දුරකථන අංකයට වට්සැප් (Whatsapp) පණිවිඩයක් එවන්න.