23/05/2026
මුල්ලිවෛක්කාල් මතකයෙන් ඔබ්බට...
Beyond Mullivaikkaal Memories ...
අද හවස කොටුවෙ ගුරුමැදුරේදී වැදගත් සාකච්ඡාවක් පැවැත්වුනා. 2009 මැයි 18දා උතුරේ මුල්ලිවෛක්කාල් හිදී ltte සංවිධානය පරාජය කොට ශ්‍රී ලංකා ආණ්ඩුවෙ හමුදා ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසුව උතුරු නැගෙනහිර දෙමළ ජනයාට මේ දිනය මහා ජන සංහාරයක් පිළිබඳ මතකය සිහියට නංවනවා. මැයි 16, 17, 18 දිනවල සිදුවූ ඒ මහා ජන සංහාරයේදී දෙමළ ජනයා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මරාදැමුනු බව අපට අමතක කරන්න බැරි මතකයක්.
ඒත් අපි හැමදාමත් ඒ මතකය ස්මරණය කරමින් ඉන්නවද එහෙම නැත්නම් මුල්ලිවෛක්කාල් ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධයේ ගොදුරු බවට පත්වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරනවාද කියන ප්‍රශ්නය දැන් අප හමුවේ තියෙනවා. ඒ සාධාරණය ඉටු කරන්න පුලුවන් වෙන්නෙ දිවිපිදූ සියලු දෙනා බලාපොරොත්තු වූ සාධාරණ සහ සත්‍ය සාමයක් උදාකර ගැනීමෙන් පමණයි.
එවන් සාමයක් උදාකර ගත හැක්කේ දෙමළ ජනයාගේ යටපත් කළ නොහැකි ජාතික අයිතිය පිලිගැනීමෙන් පමණක් බව අද සාකච්ඡාවෙදි අවධාරණය කෙරුනා. මෙහිදී අදහස් දැක්වූ සිංහල දෙමළ සියලු දෙනා පෙන්වා දුන්නෙ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් යටපත් කර සාමයක් උදාකර ගත නොහැකි බව මෙන්ම මොනතරම් බාධක ආවත් දෙමළ ජනයා එවන් සාමයක් භාර නොගන්නා බවයි.
අනෙක් අතට සිංහල පාලක පන්තිය බලය දරන ආණ්ඩු යටතේ උතුරු නැගෙනහිර සිදුවන බලහත්කාර සිංහල බෞද්ධකරණය, බෞද්ධයන් කිසිවකු නොමැති තැන්වල පුරාවිද්‍යවේ නාමයෙන් දෙමළ ජනයා පදිංචි ඉඩම් අත්පත් කරගැනීම, යුද සමයේ බලහත්කාරයෙන් හමුදාවට අල්ලා ගත් ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් නොකිරීම සහ අලුතින් ඉඩම් අත්පත් කරගැනීමට උත්සාහ කිරීම ආදී පොදු ජනතාවට දැනෙන ප්‍රශ්න ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වුනා.
මේ සාකච්ඡාවට පැමිණ සිටි උතුරේ ප්‍රකට ලේඛක දීපචෙල්වන් පිරදීපන් සහ නීති ශිෂ්‍ය ඉන්දුජන් යන සහෝදරවරු උතුරේ ජනයාගේ සිත්සතන්වල දැවෙන ප්‍රශ්න ඉස්මතු කොට පෙන්වාදුන්නා.
සාකච්ඡාවට මැදිහත් වූ දකුණේ සහෝදරවරු කීපදෙනෙක් දකුණේ සිංහල වර්ගවාදයේ නැගීම ගැන කරුණු කිව්වා. විශේෂයෙන් පසුගිය මුල්ලිවෛක්කාල් සමරුවෙන් පසු ඒ පිළිබඳ මුහුණු පොතේ තිබූ බොහෝ සටහන්වල තිබූ අතිශය ග්‍රාම්‍ය අසභ්‍ය කමෙන්ට් තුළින් භයානක වර්ගවාදී ප්‍රවනතාවක් දකුණේ උද්ගත වෙමින් පවතින බවට අදහස් පළකෙරුනා.
මේ තත්වය වෙනස් කොට දකුණේ ජනයා විශේෂයෙන් තරුණයන් තුළ වර්ගවාදී ජාතිවාදී විසබීජ වර්ධනය වීම වැළැක්වීමටත් උතුරේ ජනයාගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ගොඩනගන්නේ කොහොමද කියන එක ගැනත් අදහස් පළකෙරුනා. මා නම් පෙන්වා දුන්නේ පසුගිය කාලය තුල දකුණේ සිංහල ජාතිවාදී අදහස් යම් පමණකට හෝ මැඩපවත්වා ගැනීමට හැකිවූයේ වාමාංශික ව්‍යාපාරයේ සහ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වයේ ශක්තිය සහ බලපෑම මත බවයි. මේ වනවිට මේ දෙඅංශයේම ක්‍රියාකාරිත්වය යම් පසුබෑමකට ලක්වී ඇති බැවින් සිංහල ජාතිවාදී කොටස්වලට ඉදිරියට පැමිණීමටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අවධානය දිනාගෙන යම් සමාජ පදනමක් දමාගැනීමට මගක් විවර වී ඇති බවත් මා මෙහිදී පෙන්වා දුන්නා.
------ Srinath Perera 23/2/2026.
22/05/2026
පාදඩ චීවරධාරියකු රකින්නට ඊනියා ජනතාවාදී ආණ්ඩුවයි සුන්බුන් විපක්ෂයයි අත්වැල් බැඳගත්ත තරම්...
16/05/2026
මහ ජනයාට වැදි බණ කියමින් පෙරදා
බොරු කී එකා නිරයට නොයතිද මතුදා
11/05/2026
පහුගිය දවස්වල මරදාන දුම්රිය ස්ථානයේ පරණ,වැසිකිළියක් නවීකරණය කරල විවෘත කළැයි කියල අපේ ජෙපි මහත්තුරු මහ හයියෙන් කතා කළා. ඊළඟට විදුලි දුම්රිය සේවාවක් පටන් ගන්න කැබිනට් මණ්ඩලය තීරණය කළැයි කියල පෝස්ට් දැම්මෙ විදුලි දුම්රිය හෙට ආරම්භ කෙරෙනව වගේ උජාරුවෙන්.
අද මුහුදුබඩ මාර්ගයේ ඉහළට සහ පහළට දුම්රිය කීපයක්ම අවලංගු කරල. අනෙක් දුම්රියත් විනාඩි 20, 30 පරක්කුයි. ඉතින් මේ වැහි අඳුරත් එක්ක ඉක්මනින් ගෙදරදොරට යන්න බලාගෙන දුම්රිය ස්ථානයට ආපු මගී ජනතාවට සිදුවූ අවහිරය සහ කරදරය සුළුපටු නැහැ. ඔවුන් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවෙ නායකයන්ට, මැති ඇමතියන්ට නොසෑහෙන්න සංග්‍රහත් කළා
කොහොම වුනත් මේ ආණ්ඩුවට කටින් බතල හිටවන්න මිසක් ජනතාවට බලපාන කිසිදු ඇත්ත ප්‍රශ්නයක් විසඳන්න හැකියාවක් නෑ කියන එක ඉතා පැහැදිලියි.
අපි විදුලි දුම්රිය එනකං ස්ටේසමට වෙලා බලාගෙන ඉමු නේද ?
07/05/2026
ලාල්කාන්තගෙ වසන්ත සමරසිංහගෙ කෝටි ගණන් වටින වත්කම් ගැන සමාජ මාධ්‍යවල පසුගිය දිනවල බොහෝ කතා කෙරුනා. ලාල්කාන්තගෙ තෙමහල් සුඛෝපභෝගී නිවස තමයි එහිදී උලුප්පා දැක්වුනේ කොහොමද මෙහෙම මන්දිරයක් හැදුවෙ කියල විමසමින්.
ජවිපෙ මැති ඇමතිවරු විතරක් නෙවෙයි වමේ විප්ලවකාරී පක්ෂයෙ නායකයා ලෙස රටේ පෙනීඉන්න නායකයෙක් ඉන්නව ඔහුගේ කල්කිරියාවත් මේ වගේ තමයි. 1990ගණන් දක්වා ඔහු හිටියෙ පුංචි මඩුවක් වගේ ගෙදරක. වැඩි කොටසක් ආවරණය කරල
ටකරන්වලින්. මෙන්න බොලේ 90 ගණන් මැද වෙද්දී ඔහු තුන්මහල් (බිම් මහල සහ තව දෙමහලක්) මන්දිරයක් හදල. පක්ෂෙ කවුරුවත් දන්නෙ නෑ කොහොමද ඔහු මේ වගේ මන්දිරයක් හැදුවෙ කියල.
ඒ වගේම තමයි ඔහුට තිබුණේ තැපැල් නයින්ටි වගේ බයික් එකක්. අර මන්දිරය හැදුවට පස්සෙ ඔහුට රථගාය ලෙඩේ හැදුන. පක්ෂෙට කියල වාහන ගත්තා. හැබැයි ඒව පාවිච්චි කළේ මේ විප්ලවකාරී නායකයායි. පක්ෂෙ පාවිච්චියට කියල අරගෙන වැඩිපුර පාවිච්චි කළේ ඔහුගෙ පුද්ගලික වැඩවලට.
මොහු නිතර කියන දෙයක් තමයි ඔහුට කිසිම වත්කමක් නැහැ කියල ප්‍රකාශ කරන්න තරම්. ඔහු සතු වෙනත් දේපොළ හෝ වස්තුව ගැන අප දන්නෙ නෑ. ඒත් හිතවතුන්ගෙ ධන පරිත්‍යාගවලින් මිලදී ගත් පක්ෂ කාර්‍යාලයෙ ඔප්පුව ඔහුගෙ නමට ලියාගත්ත. පක්ෂයෙ කිසි කෙනෙක් දන්නෙ නෑ. පක්ෂයෙ කිසිම සභාවක තීන්දුවක් ගත්තෙ නෑ ඔහුගෙ නමට ඔප්පුව ලියන්න. පක්ෂයෙ ඉන්න අතලොස්සක් දෙනා මේ ගැන තාමත් දන්නෙ නෑ මා හිතන විදියට. දැන් අවුරුදු 20ක් වෙනව. පක්ෂ කාර්‍යාලය පවුලෙ බූදලයට එක්වී හමාරයි.
ලාල්කාන්ත වගේම මේ අපූරු විප්ලවකාරී නායකයත් අවුරුදු 40කට වැඩි කාලයක් රැකියාවක් කළේ නෑ. පූර්ණකාලීන දේශපාලනය කළේ. ඔහු මන්ත්‍රීකම් ඇමතිකම් කරලත් නැහැනෙ. ඒත් ඔහු ගතකරන ඉහළ මධ්‍යම පන්තික ජීවිතය දිහා බලපුවම කෙනෙකුට හිතෙන්න පුලුවන් වමේ පක්ෂයක පූර්ණකාලිකයෙක් වෙන එක තමයි ඉහළ යන්න සැපවත් ජීවිතයක් ගත කරන්න හොඳම දේ කියල.
මෙහෙම වැදි බණ කියමින් සමාජවාදී විප්ලවයක් ගැන දේසනා කරමින් ලෝකයේ කම්කරුවන් පරිත්‍යාග කරන සල්ලිවලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන මේ අපූරු විප්ලවවාදියා හඳුනාගන්න.
06/05/2026
මාලිමාවෙ ආණ්ඩුව සහ ආධාරකරුවන් කරපු නීති විරෝධි වැඩකට වසරක් සම්පූර්ණ වුනා කිසිම හාහෝවක් නැතුව.
පළවැනි සිද්ධිය වාර්තා වුනේ ගිය අවුරුද්දේ මැයි 1දා. මාලිමාවෙ මැයි දින පෙළපාළියට දකුණු පළාතෙන් ආපු පිරිස් ආවේ මාතර කොළඹ අධිවේගී මාර්ගයේ. ඒ එන අතරතුර ඔවුන් වැලිපැන්න ප්‍රදේශයේ පාර අයිනෙ බස් රථ නතර කරල කකා බිබී මුත්‍රා කරමින් යම් වෙලාවක් එහි රැඳී සිට තිබුණ.
මේක සම්පූර්ණ නීති විරෝධි වැඩක්. අධිවේගී මාර්ගයේ නියමිත ස්ථානයක ඇර වාහන නවත්වන්න බැහැ. මෙතන එකක් දෙකක් නෙවෙයි බස් තිහක් හතලිහක් විතර. බස් නවතාගෙන හිටිය විතරකුත් නෙවෙයි පාරේ එහෙ මෙහෙ යමින් අධිවේගී මාර්ගයට අදාල නීති මහ දවල් උල්ලංඝනය කළා.
වෙනත් කිසි කෙනෙක් නොකරන අන්දමට මෙසේ එලිපිට නීතිය කඩන්නට මේ පිරිසට හයිය ලැබුණේ කොහොමද? ඒ ඔවුන් පාලක පක්ෂයේ සාමාජිකයන් ආධාරකරුවන් නිසා. පොලිසිය මේ නීති විරෝධි වැඩය නොදැක්ක විදියට හිටිය.
එතකොට පොලිස්පතිවරයා බලයෙ ඉන්න උන්ට ඕන විදියට නීතිය නැව්ව. වෙන පක්ෂයක තියා සාමාන්‍ය පුරවැසියකු හරි මේ විදියට අධිවේගී මාර්ගයේ වාහනය නතර කරන් හිටිය නම් පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඔවුන් අල්ලාගෙන වුත් දඩ ගහනව නැත්නම් උසාවි දානව.
මෙයින් දින දෙකකට පසුව දෙරණ නාලිකාවෙ 360 වැඩසටහනට සහභාගී වූ අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්ව නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නව කියල. ඒත් ගත්ත පියවරක් ගැන සඳහනක් නැහැ මේ දක්වා.
අනෙක් අතට මාලිමාවෙ උන් බලය අතට අරන් කරපු නීති විරෝධි ක්‍රියාව ගැන ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. සමහර විට පොලිසියෙ පොඩි උන්ට විරුද්ධව විනය පියවර ගන්න ඉඩ තියෙනවා.
මාලිමාවට එක නීතියක්
අනෙකුත් අයට තව නීතියක්.
03/05/2026
මැයි 3 දා ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයයි.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ජාත්‍යන්තර දත්ත උපයෝගි කරගනිමින් දකුණු ආසියානු කලාපයේ මාධ්‍ය නිදහසේ තත්වය පිළිබඳව විමසුමක් කර තිබිණි.
ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකය අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 139 වැනි ස්ථානයයි. අපෙ රට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කොතරම් පසුගාමී තත්වයක සිටින්නේදැයි මින් පැහැදිලි වේ.
මේ තත්වය වෙනස් කොට ජනමාධ්‍යයට නිදහසේ ස්වකීය කාර්‍යයන් කරගෙන යාමට හැකි පරිසරයක් ස්ථාපිත කරගැනීම සඳහා මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන සහ නිදහස අගය කරන සියලු දෙනා එකාවන්ව අත්වැල් බැඳගත යුතුය.
03/05/2026
Clean Sri Lanka ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නියෝජිතයන් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවලට සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලට අනුයුක්ත කළයුතු බවට ජනාධිපති ලේකම්වරයා විසින් පලාත් ආණ්ඩුකාරවරුන් සහ දිසා ලේකම්වරුන් වෙත නිකුත් කරන ලද ලිපියයි මේ.
මෙම නියෝජිතයන් පත් කරන්නේ කෙසේද ඔවුන් දැනටමත් තෝරාගෙන ඇත්ද නොඑසේ නම් ඔවුන් තෝරාගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව කවුරුත් කිසිවක් දන්නෙ නෑ.
බොහෝ දෙනා දරන අදහස වන්නේ ඔවුන් මාලිමාවෙ ඍජු නියෝජිතයන් බවයි. රාජ්‍ය සේවය ආණ්ඩු පක්ෂයෙ ග්‍රහණයට ගැනීමේ මූලික පියවර මෙය විය හැකියි. ඒ නිසාම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වෘත්තීය සමිතිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වෘත්තීය සමිතිය මේ පියවරට විරෝධය පළ කරල තියෙනවා.