25/10/2024
කාන්තාරයක් නිසා ආරක්ෂාවන මහා වනාන්තරය
= = = = = = = =
වනාන්තර විනාශ වුණාම කාන්තාර ඇතිවෙනවා කියන එක තමයි සාමාන්‍ය ඉගැන්වීම වෙන්නේ. ඒකට අපි කියන්නේ කාන්තාරකරණය කියලා.
නමුත් අතිවිශාල කාන්තාරයක් නිසා ඒ වගේම සුවිසල් වනාන්තරයක් නොනැසී පවතිනවා කිව්වොත් ඇතැම්විට ඔබ පුදුමයට පත්වේවි.
මේ ඒ වගේ අරුම පුදුම කතාවක්.
2006 වර්ෂයේ දී නාසා ආයතනය “කැලිප්සෝ” කියලා චන්ද්‍රිකාවක් කක්ෂගත කළා. මේ චන්ද්‍රිකාවේ සවිකරලා තියෙනවා Imaging Infrared Radiometer (IIR) පද්ධතිය Cloud-Aerosol Lidar with Orthogonal Polarization (CALIOP) නම් ලේසර් කිරණ පද්ධතියක් මගින් වළාකුල්වල ඇති විවිධ ස්ථර වෙන් වෙන් වශයෙන් හඳුනගෙන අධ්‍යයනය කරන්න පුළුවන් සුවිශේෂී කැමරා පද්ධතියක්.
එම කැමරා පද්ධතියට හැකියාව තිබෙනවා වායුගෝලයේ ඇති ජල අංශු, වායු අංශු, දූවිලි අංශ ඇතුළු විවිධ කොටස් වෙන්කර හඳුනාගැනීමට. ඒ සඳහා සංවේදී උපකරණවලින් මේ පද්ධතිය සන්නද්ධ කර තිබෙනවා.
ඒ නිසා පෘථිවි වායුගෝලයේ ඇති සුළං ප්‍රවාහවල තියෙන විවිධ අංශු වෙන්කරගෙන ඒවායේ ඇති රටාවන් හදුනාගෙන පරිගණකයෙන් ඡායාරූප ලෙස ලබාගැනීමේ හැකියාව මේ පද්ධතියට තිබෙනවා.
මේ දැක්වෙන ඡායාරූප ලබාගෙන තිබෙන්නේ “කැලිප්සෝ” චන්ද්‍රිකාවේ ඇති විශේෂිත කැමරා පද්ධතිය මගින්. එහි පෙන්වන්නේ දූවිලි වළාවක්.
විද්‍යාඥයන් මේ දූවිල රටාව අධ්‍යයනය කළා. ඔවුන් කියන්නේ අප්‍රිකාවේ ඇති සහරා කාන්තාරයේ සිට අත්ලාන්තික් සාගරය හරහා මේ දූවිලි වළාව වළාකුල් සහ සුළං ප්‍රවාහ සමඟ දකුණු ඇමෙරිකා මහද්වීපය දෙසට පාවෙලා යන බව. මේකට ඔවුන් නමක් දැම්මා. ඒ තමයි “සහරාන් ඩස්ට්” (Saharan Dust)
මේ සහරාන් ඩස්ට් කියන දූවිලි වළාව හඳුනාගත් අවස්ථාවේ සිට විද්‍යාඥයන් ඒ ගැන වසර කිහිපයක් ම අධ්‍යයනය කළා. ඔවුන් පවසන්නේ සහරා කාන්තාරයේ සිට දකුණු ඇමෙරිකා මහාද්වීපයට වසරකට දූවිලි ටොන් මිලියන 182ක් හෙවත් වැලි පැටවූ ලොරි ලක්ෂ 08කට සමාන ප්‍රමාණයක් පාවෙලා යන බව.
මේක අතිවිශාල දූවිලි ප්‍රමාණයක්. මේ දූවිලි ගමන් කරන දුරත් සුළුපටු නැහැ. එය අත්ලාන්තික සාගරයට ඉහළින් සුළඟේ සැතපුම් 1,600ක දුරක් ගමන් කරනවා.
මේ විදියට ගමන්කරන දූවිලි අංශු පතිත වෙන්නේ බ්‍රසීලය වගේ ලතින් ඇමෙරිකානු රටවල්වලට.
මේ දූවිලි පාවෙලා යන අතරතුර අහසේ ඇති වායු ප්‍රවාහවල රැඳිලා ඒ මේ අත ගමන් කරමින් තිබී වරින් වර ක්‍රම ක්‍රමයෙන් පොළොව මත පතිත වෙනවා. ටොන් 132ක් පමණ ලතින් ඇමෙරිකාවේ විවිධ කලාපවලට පතිත වන අතර ටොන් මිිලයන 43ක් කැරිබියන් කලාපයටත්, ටොන් මිලියන 27.7ක් බ්‍රසීලයේ ඇමසන් ද්‍රෝණියටත් පතිත වෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් වැටෙන්නේ දැවැන්ත ඇමසන් වනාන්තරයට.
ඇමසන් වනාන්තරයේ ශාඛවල පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය ඛනිජ සංඝටකයක් වන්නේ පොස්පරස්. මේ පොස්පරස් ශාක සෛලවල ශක්තිය තබා ගැනීමටත් ඩී.එන්.ඒ. ප්‍රකෘති තත්වයේ පවත්වාගන්න උපකාරී වෙනවා. ඇමසන් වනාන්තරයේ ශාඛ වලට අවශ්‍ය පොස්ෆරස් මේ වනාන්තරයේ ම තිබෙනවා. නමුත් නිරන්තර ඇතිවන අධික වැසි සහ ගංවතුර තත්වය නිසා මේ පසේ ඇති ඛනිජ නිතරම ගලාගෙන ගොස් මුහුදට එකතු වෙනවා. ඒ නිසා ශාකවලට අවශ්‍ය තරම් පොස්ෆරස් වනාන්තරයේ ඉතිරිවන්නේ නැහැ.
නමුත් සහරා වනාන්තරයේ සිට සුළඟ මගින් ඇමසන් වනාන්තරයට ගෙන එන දුහුවිලිවල පොස්ෆරස් 0.08% ප්‍රමාණයක් අඩංගු වෙනවා. එහෙම ගියාම ඇමසන් වනයේ පසේ පොස්ෆරස් ප්‍රමාණවත් නොවුණත් ඒ පොස්ෆරස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ සහරා කාන්තාරයේ සිට සැතපුම් 1,600ක් දුර ගෙවාගෙන ඇමසන් වෙත එන දූවිලි ප්‍රවාහය විසින්.
ඔබ දන්නවා ද විද්‍යාඥයන් මේ ගැන දිගින් දිගටම අධ්‍යයනය කළා. ඔවුන් පවසනවා ඇමසන් වනාන්තරයේ ඇති පොස්ෆරස් ජලයේ ගසාගෙන ගියාම එම වනාන්තරයට අහිමිවී යන අත්‍යාවශ්‍ය පොස්ෆරස් ප්‍රමාණයට සමාන පොස්ෆරස් ප්‍රමාණයක් සහරා කාන්තාරයෙන් සුළං ප්‍රවාහය ඔස්සේ ලබා දෙන බව.
මෙය ඉතාමත් පුදුම සහගත දෙයක්. නමුත් ඇත්තටම සිදුවන්නේ එයයි. ස්වභාව ධර්මයා විසින් පරිසරයේ තුල්‍යතාව ඇතිකරන්න මේ අපූරු සිදුවීම නිර්මාණය කරලා. මහා වනාන්තරයක් ආරක්ෂා කරන්න දැවැන්ත කාන්තාරයකින් අවශ්‍ය පොස්ෆරස් ප්‍රමාණය අහසින් ගෙනැල්ලා අවශ්‍ය තැනටම පතිත කරනවා.
විශ්වාස කරන්න බෑ නේද ?
ඇමසන් වනාන්තරයේ පැවැත්මට වර්ෂයකට පොස්ෆරස් ටොන් 22,000ක් අවශ්‍යයි. සහරා කාන්තාරයෙන් පරිත්‍යාග කරන පොස්ෆරස් ප්‍රමාණයත් වසරකට හරියටම ටොන් 22,000යි.
මේ සංසිද්ධිය ඇති වුණේ අදින් වසර කෝටි 17-18කට පමණ පෙර සිට කියලා තමයි විද්‍යාඥයන්ගේ මත වී තිබෙන්නේ. ඒ කාලේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව ඇතුළු මහද්වීප රැසක් එකම ගෙඩබිමක් ලෙස තමයි තිබුණේ. පස්සේ ඇති වූ භූමිකම්පා, සුනාමි, විවිධ පැළුම් නිසා අප්‍රිකාවත් දකුණු ඇමෙරිකාවත් ක්‍රම ක්‍රමයෙන් එකිනෙක ඈත්ව ගියා. නමුත් තනි ගොඩබිමක් හැටියට තියෙද්දී පෘථිවි චුම්භක ක්‍රියාකාරීත්වය නිසා ඇති වූ සුළං ප්‍රවාහ මගින් එම ගොඩබිම් දෙක අතර සිදු වූ අන්තර් ක්‍රියාකාරීත්වයන් අදටත් වැඩි වෙනසක් නැතිව පවතින බව තමයි විද්‍යාඥයන් පවසන්නේ.
වනාන්තර විනාශයෙන් කාන්තාර ඇතිවෙනවා කියලා වර්තමානයේ කිව්වත් කාන්තාර නිසාම ඇමසන් වැනි සුවිසල් වනාන්තර ආරක්ෂා වී තිබීම ගැනත් අපි කතා කළ යුතුයි.
මේවා සොබා දහමේ අපූරු සහ සම්බන්ධයන්
(මෙවැනි විද්‍යාත්මක තොාරතුරු දැන ගැනීමට අපේ "විද්යා පිටුව Science Page" Like කර Follow කරන්න. )
24/10/2024
ශ්‍රී ලංකා පක්ෂි නාමාවලියට එක්වූ නවතම ආවේණික විශේෂය ශ්‍රී ලංකා වන පොල්කිච්චා
ශ්‍රී ලංකාවට ආවේණික උපවිශේශයක් ලෙස (Copsychus malabaricus leggei) සලකන ලද වන පොල්කිච්චා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂයක් ලෙස 'Sri Lankan Shama' (Copsychus leggei) ලෙසින්, පක්ෂීන්ගේ වර්ගීකරණය පිලිඹඳ තොරතුරු යාවත්කාලීන කරන 'ක්ලෙමන්ට් පිරික්සුම් ලැයිස්තුවේ' (The Clements Checklist of Birds of the World) නවතම වෙළුමෙහි සඳහන් කර තිබේ, ඒ මෑත කාලීන අධ්‍යයනයන් අනුව යමිනුයි. ඊට අනුකූලව 'Avibase' (The World Bird Database) විසින් එම නාමකරණය අනුගමනය කරන බවත් දක්වා තිබේ.
* ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ සංඛ්‍යාව 35 දක්වා ඉහළට.
ශ්‍රී ලංකා වන පොල්කිච්චා
EN: Sri Lankan Shama
SN: Copsychus leggei (Whistler, H 1941)
ශ්‍රී ලංකා වන පොල්කිච්චා (Copsychus leggei) යනු මියුසිකැපිඩේ (Muscicapidae) කුලයට අයත් ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂි ලැයිස්තුවට එක්වූ නවතම සාමාජිකයායි. මොවුන් පොළොව මට්ටමට ඉතා ආසන්නව වාසය කරයි. ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපීය වනාන්තර ආශ්‍රිතව වන පොල්කිච්චා බහුලව දැකගත හැකිය. මොවුන්ගේ පිරිමි සතුන් දිලෙන කළු පැහැ ශරීරයකින් හෙබිවන අතර උදර ප්‍රදේශය දුඹුරු පැහැයක් ගනී. තවද අඟල් දහයක් දොලහක් අතර දිගු පෙඳයක්ද ඇත. එම කලු පැහැ පෙඳයේ යටි පැත්ත, තැනින් තැන සුදු වර්ණයෙන් වේ. වන පොල්කිච්චන්ගේ ගැහැණු පක්ෂීනට වඩා පිරිමි පක්ශීන් ප්‍රමාණයෙන් තරමක් කුඩා වන අතර ශරීර වර්ණයද තරමක් අඳුරු පැහැ ගනී. මොවුන් බොහෝ විට ජීවත් වන්නේ යුගල වශයෙනි. ආහාර ලෙස කුඩා කෘමීන් සහ පණුවන් ගොදුරු කරගනී. අමු මස් හා රනිල කුලයට අයත් වියලි ආහාර මත ද පෝෂණය වේ. වන පොල්කිච්චන් හට ඔවුනට ආවේණික මිහිරි කටහඬක් තිබීමද සුවිශේෂී කරුණකි. අභිජනනය නේවාසික වන අතර අභිජනන සමය මාර්තු සිට මැයි දක්වා වේ. පිරිමි සතා ආරක්ෂාවට සිටින අතර ගැහැණු පක්ෂියා විසින් පොළොව මට්ටමට ඉතා ආසන්න පහත් ශාකයක කෝටු කැබලි සහ පර්ණාංග යොදාගෙන තනන කැදැල්ලෙහි වරකට බිත්තර 4-5 අතර දමයි. දින 12 ත් 15 ත් අතර කාලයක් තුල පැටවුන් බිහිවේ. ආයුකාලය වසර හතක් පමණ වේ. බර 28-34g සහ දිග cm 23-28 පමණ වේ.
Reference:
* https://birdcount.in/ebird-india-taxonomy-2024-summary/
* https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=C5C6D2B5
* https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC9486911/
* https://science.ebird.org/en/use-ebird-data/the-ebird-taxonomy/2024-ebird-taxonomy-update
* https://www.birds.cornell.edu/clementschecklist/introduction/updateindex/october-2024/
* https://www.birds.cornell.edu/clementschecparisarasamagamaklist/introduction/updateindex/october-2024/2024-citation-checklist-downloads/
#පරිසර_සමාගම #
20/10/2024
කිරිදෙන අම්මලාගෙන් ප්‍රවේශම් වෙන්න. ළඟ හිටියොත් අවුලක් ?
= = = = = = = =
ගැහැනු දරුවකු වැඩිවියට පත්වීම මෙරට සංස්කෘතිය අනුව මංගල්‍යයක්. “මල්වර මගුල” “කොටහළු මගුල” වැනි නම්වලින් හඳුන්වන මෙහි දී සිදුවන්නේ ලිංගික වශයෙන් පරිනත වූ නව යොවුන් තරුණියකගේ සිරුරෙන් ඩිම්බ පිටවීමේ ආරම්භය.
එය මාසිකව සිදුවන චක්‍රයක්. එයට විද්‍යාත්මකව කියන්නේ ඔසප් චක්‍රය කියලා. වැඩිවියට පත් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය විවිධාකාරයි. ඇතැම් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ඉතාමත් ක්‍රමවත්, සමාන දින පරතරයක් ඇතිව සාමාන්‍ය පරිදි ඔසප්වීම සිදුවනවා. තවත් කෙනෙකුගේ මේ ඔසප් චක්‍රය ඉතාමත් අක්‍රමවත්. ඇතැම් මාසවල දී අඩු දින ගණනකදීත්, තවත් මාසයක වැඩි දින ගණනකදීත් මේ ඔසප්වීම සිදුවනවා. නිශ්චිත දින පරතරයක් නැතිව ඒ විදියට ඔසප් වන අයගේ ඔසප් චක්‍රය අක්‍රමවත් කියා තමයි කියන්නේ. තවත් කෙනෙකුගේ ඔසප් චක්‍රය කෙටියි. තවත් අයකුට දිගු ඔසප් චක්‍රයක් තියෙනවා.
පසුගිය දා නිව් සයන්ටිස්ට් සඟරාව අපූරු හෙළිදරව් කිරීමක් කළා. චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වික්ලින්ටොක් ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණයක් තමයි මේකට පදනම් වුණේ.
මේ පර්යේෂකයන් පවසන්නේ ළංව සිටින කාන්තාවන්ගේ මාසික ඔසප් වීම බොහෝ විට එකම දිනක දී හෝ ඉතාමත් ආසන්න දිනයක දී සිදුවන බවයි.
මේක ඇත්තටම විද්‍යාත්මකව සිදුවිය හැකි දෙයක් ද ? එතකොට සාමාන්‍ය ක්‍රමය අභියෝගයට ලක්වෙනවා නේද ?
ඒ පර්යේෂකයන් තවත් අපූරු දෙයක් අනාවරණය කර තිබුණා. කිරිදෙන මව්වරුන්ට ද තමන් සමීපයේ සිටින කාන්තවන්ගේ ඔසප් චක්‍රය කෙරෙහි බලපෑමක් කළ හැකි බව තමයි ඒ අනාවරණය.
ඔවුන් කිරිදෙන මව්වරු 26 දෙනෙක් තෝරාගෙන එම කාන්තාවනගේ කිහිල්ලට යටින් සහ පියුරු අතර අවශෝෂණ හැකියාවෙන් යුතු තුනී කොට්ට වර්ගයක් රඳවලා. පසුව මේ පරීක්ෂණයට තම කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ තවත් කාන්තාවන් 54 දෙනෙකුට මෙම කොට්ටා තමන්ගේ නාසය යටින් පිරිමදින ලෙස උපදෙස් දී තිබුණා මේ ක්‍රියාවලිය දිනකට හතර වතාවක් බැගින් මාස දෙකක් පුරා සිදුකරන ලෙස උපදෙස් දී තිබුණා.
පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර මේ කාන්තාවන් 54 දෙනාට ම ක්‍රමවත් ඔසප් චක්‍ර තිබුණු අය බව පරීක්ෂකයන් පවසනවා. නමුත් ඔසප් චක්‍රය ඔවුන්ගේ ක්‍රමවත් වුණත් කෙටි ඔසප් චක්‍ර තිබූ කාන්තාවනගේ ඔසප්වීම තවදුරටත් කෙටි ඔසප් චක්‍රයක් බවට පත්ව ඇති අතර දිගු ඔසප් චක්‍ර තිබූ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය තවදුරටත් දිගු වූ බවයි පර්යේෂකයන් පවසන්නේ.
මහාචාර්ය වික්ලින්ටොක් පෙන්වාදෙන්නේ කිරිදෙන මව්වරුන් සිටින පරිසරයක පවතින යම් ආකාරයක රසායනික සංඥාවක් මේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රවලට බලපෑම් සිදුකරන බවයි.
ඒ නිසා “නිව් සයන්ටිස්ට්” සඟරාව කාන්තාවනට තවත් කාන්තාවන් සමඟ සමීපව සිටීම ගැන අනතුරු අඟවනවා.
02/09/2021
පිරිත් බලේ සහ දොස්තර පාදෙණියගේ මොළේ
පිරිත් බලේ සහ දොස්තර පාදෙණියගේ මොළේ
පිරිත් කියූ විට ජල අණුව වෙනස්වන බවත්, ඒ ගැන ජපානයේ පර්යේෂණ සිදුකර ඇති බවත් කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.....
31/08/2021
වයිරසයට වෛර නොකරන්න. වයිරස් නැත්නම් මිනිසුන් නෑ
වයිරසයට වෛර නොකරන්න. වයිරස් නැත්නම් මිනිසුන් නෑ
වයිරස් ගැන මතක් කළ පමණින් සැමට ඇතිවන්නේ තැති ගැන්මකි. කොරෝනා වසංගතය හේතුවෙන් එය තවත් වැඩි වී ඇත. වයිරස් කිසිවකට ඔබ...
13/08/2021
විද්‍යාවටත් පිළිතුරු නැති ප්‍රශ්න
විද්‍යාවටත් පිළිතුරු නැති ප්‍රශ්න
විද්‍යාව කොතරම් දියුණු වී ඇතත් මෙතෙක් විද්‍යාවෙන් විසඳාගත නොහැකි වූ ගැටලු කිහිපයක් ඉතිරිව තිබේ. මෙතෙක් නිශ්චිත.....
24/03/2021
අභ්‍යාවකාශයෙන් අමුතු ජීවීන් හමු වූ බව NASA විද්‍යාඥයෝ හෙළි කරති
https://si.rata.lk/11775/
05/01/2021
චීන ආහාර වෙනුවෙන් මරා දමන අලි මඩුවන් සුරකිමු
වැඩි විස්තර සඳහා - https://www.rata.lk/8859/
28/10/2020
සඳ මත ජලය ඇතැයි NASA කීවේ නෑ.
සඳ මත ජලය ඇතැයි නාසා ආයතනයේ පර්යේෂණයකින් සනාථ වී තිබේ යැයි සිදුවන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැත.සඳ මත ජල කතාවේ ඇත්ත දැනගැනීමට සම්පූර්ණ ලිපිය කියවන්න.
සඳ මත ජලය ඇතැයි NASA කීවේ නෑ.
සඳ මත ජලය ඇතැයි නාසා ආයතනයේ පර්යේෂණයකින් සනාථ වී තිබේ යැයි සිදුවන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැත. එවැනි පර්.....
11/10/2020
සියලු ලාංකිකයන් අනිවාර්යයෙන් ම කියවිය යුතුයි
එයා මැරුණෙ විෂබීජයක් ගිහින්.
බලන්නකෝ විෂබීජයක් ගිහිල්ලා දැන් ඇඳ උඩ බට දාලා තියෙන්නේ.
දෙස්තරලා කියනවා විෂබීජයක් ගිහින් කියලා. මොනවා වෙලාද මන්දා
ඔබට මෙවැනි කතා ඇහිලා ඇති. කියලත් ඇති. ඇත්ත දැනගන්න පහත ඇති ලිපිය කියවන්න.
හදිසියේ ඔබ සොයා පැමිණිය හැකි මාරයා - විෂබීජ
විෂබීජයක් ශරීරගතවීම යන්න අද අරුමයක් නොවේ. මරණයක් සිදු වූ විට බොහෝ විට කියැවෙන්නේ ඒ මරණයට හේතුව විෂබීජයක් ශරීරග...
05/06/2020
ඔබ පැළ සිටුවන්න හිතනවානම් මේ සටහන කියවන්න.
දැන් හැමතැනම පැළ සිටුවීම රැල්ලක් වගේ මතුවෙලා තියෙනවා. මේක ඉතාමත් සාධනීය ලක්ෂණයක්. මම මේ සටහන තබන්නේ පැළ සිටුවන සැමගේ අවධානය යොමු කළ යුතු කරුණක් නිසා. අපි පැළ සිටුවිය යුතුයි. ශ්‍රී ලංකාවේ වන ස්ථරය ඉතාමත් සීඝ්‍රයෙන් අඩුවෙලා තියෙන යුගයක අපිට හැකි සෑම ස්ථානයක ම පැළයක් (වන පැළයක්) සිටුවීම ඉතාමත් වැදගත් වගේම වටිනා කර්තව්‍යයක්. නමුත් ගැටලු කිහිපයක් මතුවෙනවා. දැන් අපේ අය තරඟයට මෙන් ඉන්දන්නේ කුඹුක් සහ මී කියන ශාක වර්ගවල පැළ.
මේ වැඩේනම් වැරදියි. මෝස්තරයට පැළ සිටුවන අය මා සමඟ එකඟ වෙන එකක් නැහැ. නමුත් මා කිව යුතු දේ සටහනක් ලෙස තැබිය යුතුමයි. ඒ නිසා ඇතැම් අයට නීරස වුණත් මේ විදියට ලියනවා.
අපි පැළයක් සිටුවනවා නම් එය ඒ පරිසරයට සුදුසු පැළයක් විය යුතුයි. නමුත් කුඹුක් සහ මී සෑම පරිසර පද්ධතියකට ම සුදුසු ද ? නැහැ. ඇයි එහෙනම් කුඹුක් හා මී පැල මේ තරම් සිටුවන්නේ.
මේ රැල්ල හැදුවේ පැළ තවාන් කරුවන් විසින් සහ ඒ ගැන අවබෝධයක් නැති ඇතැම් අය විසින්. කුඹුක් කියන්නේ වියළි කලාපයේ වැවෙන දැවැන්ත ශාකයක්. මේ ශාකයේ මුල් ජලයට ඉතා සංවේදීයි. ඒ වගේ ම පර්යේෂකයන් කියන්නේ කුඹුක් ශාකයෙන් ජලය විශාල වශයෙන් ලබාගන්නා නිසා (අන් ශාකවලට සාපේක්ෂව) එය ජලාශ්‍රිත පරිසරයේ වැඩෙන්න වැඩි ප්‍රියතාවක් දක්වනවා කියා. ඒ නිසාම එහි මූල කේෂ ජලයතුළ පැහැදිලිව දැකිය හැකිවෙන්නේ අලංකාර සිතුවමක් වගේ. නමුත් අපේ අය කියනවා කුඹුක් ගසෙන් ජලය පිරිසිදු කරනවා කියා. නමුත් එවැන්නක් කිසිසේත්ම සනාථ කර නැහැ. ඇතැම් විට එහෙම වෙනවා ඇති. මී ගස ජයට කුඹුක් තරම් සංවේදී නැහැ. නමුත් කුඹුක් සහ මී කියන වර්ග දෙකම පොඩි පැළයේ සිටම (බීජයෙන් එලියට මතුවූ මොහොතේ පටන් ම) ඉතාමත් නිරෝගී ස්වරූපයක් පෙන්වනවා. කුඹුක් පැලය ඉක්මණින් උස්ව වැඩෙනවා. මේ නිසා පැල තවානක කුඹුක් හා මී පැළ ඉතාත් නිරෝගී පුෂ්ටිමත් පැළ හැටියට පෙනෙනවා. ඒ විතරක් නෙවෙයි කුඹුක් හා මී බීජ ඕනෑම පැල තවාන්කරුවෙකුට පහසුවෙන් සොයා ගත හැකියි. ඒ නිසා පැළ තවාන් කරුවන්ට බෝ කරන්නත්, අළෙවි කරන්නත් මේ පැළ ඉතා පහසුයි.
දැන් අපි බලමු කුඹුක් හා මී කියන ශාක දෙකේ අනෙකුත් විස්තර. කුඹුක් කියන්නේ ඉන්දියා උප මහද්වීපයේ සහ ශ්‍රී ලංකාවේ දැකිය හැකි Terminalia arjuna ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන ශාකයක්. මෙය වැවෙන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ හා ඇතැම්විට අතරමැදි කලාපයේ.
මී ගස Madhuca longifolia ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වනවා. මී ගස අපේ රටේ වගේම ඉන්දියාවේ දක්නට ලැබෙනවා. මේ ශාකයත් වියළි කලාපීය ශාකයක්. ඇතැම් අවස්ථාවල දී අතරමැදි කලාපයේ දැකිය හැකියි.
නමුත් දැන් අපේ අය කරන්නේ කුමක් ද ? කිසිම ඉවක් බවක් සහ සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගිහින් කුඹුක් හා මී ගස්වල පැළ රට පුරාම හැමතැනම ඉන්දනවා. අපි මේ කරන්නේ නිවැරදි දෙයක් ද ? නැහැ. කිසිසේත්ම නිවැරදි දෙයක් නෙවෙයි. වියළි කලාපයේ වැවෙන ශාක වර්ග උස්සගෙන ගිහින් අපි ඒවා තෙත් කලාපයේ, කඳුකර තෙත් කලාපයේ, සැවානා තණබිම් ප්‍රදේශවල සිටුවීමෙන් කරන්නේ පරිසරයට විශාල බලපෑමක්. ගසක් කපා දමා පරිසරය විනාශයට කටයුතු කරනවා හා සමානවම අපි මේ තුළිනුත් පරිසරයේ තුල්‍යතාවය බිඳ දමන්න කටයුතු කරනවා.
ඔබ දන්නවා ද ? දැනට මාස කිහිපයකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගිහින් ශ්‍රී ලංකාවේ ඉතාමත් වටිනා කඳුකර තෙත් සදාහරිත වනාන්තරයක් වූ සමනළ අඩවි වනාන්තරයේ කුඹුක් පැල සිටුවා තිබුණා. මෙය සම්පූර්ණයෙන් ම වැරදි වැඩක්. මෙය නොකළ යුතු දෙයක්. ඇතැම් විට තවත් වසර 20-30ක් යන විට මේ විදියට සිටුවන කුඹුක් හා මී ඒ පරිසර පද්ධතියේ ආක්‍රමණිකයකු විය හැකියි.
මේ නිසා මා ඔබ සැමටගෙන් ඉල්ලීමක් කරනවා. පැළ සිටුවීම ඉතාමත්ම හොඳ පුරුද්දක්. එය නිතරම අප විසින් කළ යුතු දෙයක්. නමුත් පැළ සිටුවීමට පෙර අපි ඒ පරිසර පද්ධතියට සුදුසු. ඒ ඒ පරිසර පද්ධතියේ සාමාන්‍යයෙන් දැකිය හැකි ශාක තෝරාගත යුතුයි. එය ටිකක් අමාරු දෙයක් වේවි. නමුත් කළ යුත්තේ එයයි.
මේ සඳහා ශාක වර්ග තෝරාගැනීමට ඔබට අවශ්‍යනම් සහය විය හැකියි. ශාක අපි සතුව නැහැ. නමුත් සිටුවිය යුතු ශාක ගැන තොරතුරු ලබා දිය හැකියි. මේ සඳහා පේරාදෙණියේ ජාතික ශාකාගාරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වැනි ආයතනවලිනුත් තොරතුරු ලබාගත හැකියි.
ඒ නිසා මේ ගැන ඔබේ අවධානය යොමු කරමු. තමන්ගේ ජීවිත කාලයේ දී අවශ්‍ය පරිසර පද්ධතිතුළ ඒ ඒ ස්ථානයට සුදුසු ශාක හැකිතරම් සිටුවන්න අපි අද දිනයේ අදිටන් කරගනිමු.