16/07/2026
මධ්යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරය කේන්ද්ර කර ගනිමින් ක්රියාත්මක වන ප්රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්යාපෘති හතරක් ඉදිරි වසර දෙක ඇතුළත සම්පූර්ණයෙන් අවසන් කිරීමට ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව ගැටඹේ හන්දිය ගුවන් පාලම, මහයියාව යටිබිම් උමං මාර්ගය, විලියම් ගොපල්ලව මාර්ගය සහ ලුවී පීරිස් මාර්ගය යන ව්යාපෘති උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම යටතේ කඩිනමින් ඉදිරියට ගෙන යනු ලබයි.
මෙම ව්යාපෘතිවල ඉදිකිරීම් ප්රගතිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත සහ ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේනගේ සහභාගීත්වයෙන් ඊයේ (15) ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවක් සිදු කෙරිණි.
දේශපාලනික, පරිපාලනමය හා මූල්යමය ගැටලු හේතුවෙන් අතරමග නතර වී තිබූ ගැටඹේ හන්දිය ගුවන් පාලම් ව්යාපෘතිය 2025 පෙබරවාරි මාසයේදී යළි ආරම්භ කර ඇති අතර, මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු වේගවත් කර ඇත. ගන්නෝරුව–මහනුවර සහ පේරාදෙණිය–මහනුවර ඇතුළු මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගත් මෙම ව්යාපෘතිය සඳහා රුපියල් බිලියන 14ක පිරිවැයක් ඇස්තමේන්තු කර තිබේ.
මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස විලියම් ගොපල්ලව මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 675ක ප්රතිපාදන වෙන් කර ඇත.
මහනුවර, බූවැලිකඩ සහ අම්පිටිය ප්රදේශ සම්බන්ධ කරන ලුවී පීරිස් මාර්ගය ද්විත්ව මංතීරු සහ දෙපස පදික මංතීරු සහිතව සංවර්ධනය කෙරෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 539ක් වෙන් කර තිබේ. කඳු සහිත හා නායයාම් අවදානමක් පවතින මෙම ප්රදේශයේ මාර්ග සංවර්ධනය සඳහා "සොයිල් නේලින්" (Soil Nailing) ආරක්ෂිත ඉංජිනේරු ක්රමවේදය යොදා ගනිමින් කඳු බෑවුම් ශක්තිමත් කරමින් ඉදිකිරීම් සිදු කෙරේ.
එමෙන්ම, මහනුවර–යාපනය (A-009) ප්රධාන මාර්ගයට සහ උඩරට දුම්රිය මාර්ගයට පහසුකම් සලසමින් ඉදිකෙරෙන මහයියාව යටිබිම් උමං මාර්ගයේ ඉදිකිරීම් ද අමාත්යවරුන්ගේ නිරීක්ෂණයට ලක්විය. මීටර් 31.7ක දිගකින්, මීටර් 21.8ක පළලකින් සහ මීටර් 9ක උසකින් යුත් මෙම උමං මාර්ගය සඳහා රුපියල් මිලියන 650ක පිරිවැයක් වෙන් කර ඇත.
අදාළ ව්යාපෘති නිමවීමෙන් මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කර ජනතාවට කාර්යක්ෂම හා ආරක්ෂිත මාර්ග පද්ධතියක් සැපයීම මෙන්ම මධ්යම පළාතේ ආර්ථික හා නාගරික සංවර්ධනයට නව ගතිකත්වයක් එක් වනු ඇති බව අමාත්යාංශය සඳහන් කරයි.