Entrepreneurial Association Wanduramba

Directions Contact the organization

Entrepreneurial Association Wanduramba ව්‍යවසායක සංගමය - වඳුරඹ ප්‍රාදේශීය ලේ?

වඳුරඹ ව්‍යවසායක සභාවේ  සහයෝගය ඇතිව  ගොඩනැගුණු කොහු ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක් තම නිෂ්පාදන කටයුතු  නව මුහුණුවරකින් තවත් ඉදි...
22/09/2026

වඳුරඹ ව්‍යවසායක සභාවේ සහයෝගය ඇතිව ගොඩනැගුණු කොහු ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක් තම නිෂ්පාදන කටයුතු නව මුහුණුවරකින් තවත් ඉදිරි පියවරක් තබමින් UNITED COIR MILLS නමින් 2026.09.21 වන දින මාබොටුවන ග්‍රාම නිලධාරී වසමේදී ආරම්භ කරන ලදී.

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රේඛීය අමාත්‍යංශ නියෝජනය කරන නිලධාරීන්ගෙන් සැදුම්ලත් ව්‍යවසායක සභාවේ සහයෝගය ඇතිව ගොඩනැගුණු මෙම ආයතනයේ සමාරම්භක අවස්ථාව සඳහා වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස් . ඒ . එම් නස්ලි මහතා සහ ව්‍යවසායක සභාවේ නිලධාරීන් සහභාගී වන ලදී.

வந்துரம்ப தொழில்முனைவோர் சபையின் ஒத்துழைப்புடன் கட்டியெழுப்பப்பட்ட தும்பு சார்ந்த உற்பத்தி நிறுவனம் தனது உற்பத்தி நடவடிக்கைகளை புதிய தோற்றத்துடன் மற்றுமொரு முன்னேற்றப் படியாக UNITED COIR MILLS என்ற பெயரில் 2026.09.21 ஆம் திகதி மாபொடுவன கிராம உத்தியோகத்தர் பிரிவில் ஆரம்பிக்கப்பட்டது.

வந்துரம்ப பிரதேச செயலகத்தின் நேரடி அமைச்சுக்களை பிரதிநிதித்துவப்படுத்தும் அதிகாரிகளைக் கொண்ட தொழில்முனைவோர் சபையின் ஒத்துழைப்புடன் கட்டியெழுப்பப்பட்ட இந்த நிறுவனத்தின் ஆரம்ப விழாவில் வந்துரம்ப பிரதேச செயலாளர் திரு. எஸ். ஏ. எம். நஸ்லி அவர்களும் தொழில்முனைவோர் சபையின் அதிகாரிகளும் கலந்து கொண்டனர்.

A coir-based products manufacturing institution, built with the support of the Wanduramba Entrepreneur Council, took another step forward with a new look and was inaugurated as UNITED COIR MILLS on 21.09.2026 in the Mabotuwana Grama Niladhari Division.

The inaugural ceremony of this institution, which was built with the support of the Entrepreneur Council comprising officials representing line ministries of the Wanduramba Divisional Secretariat, was attended by Mr. S. A. M. Nasli, the Divisional Secretary of Wanduramba, and officials of the Entrepreneur Council.

20/09/2026

ඵලදායතාවය හරි තැනින්…

19 වන කොටස

**හැමදාම මෙහෙම කළා කියලා…

හෙටත් මෙහෙමම කරන්න ඕනෙද?**

“අපි මේ වැඩේ කරන්නේ හැමදාම මෙහෙමයි…”

“අපේ ආයතනයේ මේක වෙනස් කරන්න බැහැ…”

“අපිට ඉස්සර ඉඳන්ම තියෙන්නේ මේ ක්‍රමය…”

“අලුත් ක්‍රමයක් ගෙනාවොත් තවත් වැඩ වැඩි වෙයි…”

මේ වචන අපිට කොච්චර හුරුද?

කාර්යාලයකදීත්…
පාසලකදීත්…
රෝහලකදීත්…
කර්මාන්ත ශාලාවකදීත්…
ගමේ ප්‍රජා කටයුතුවලදීත්…

අපි බොහෝ වෙලාවට “වැඩේ කොහොමද වෙන්නේ?” කියලා බලනවා.

ඒත් තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.

“මේක මීට වඩා හොඳින් කරන්න පුළුවන්ද?”

💡 නවෝත්පාදනය (invention)කියන්නේ අලුත් දෙයක් හදන එක,
💡 නව්‍යකරණය (innovation)ක් වෙන්නේ අලුත්ම දෙයක් හරි පවතින දෙයක හරි පාරිභෝගික තෘප්තිය උපරිම වෙන විදියට කැපී පෙනෙන වෙනසක්, වැඩි දියුණුවක් ප්‍රායෝගිකවම ඇති කරනවාට.

මේ වචන දෙකේ වෙනස හරියට තේරුම් නොගත්තොත් අපිට ආයතනයක් ඇතුලේ “Innovation” කියන වචනය ඇහුවාම සමහරවිට මතක් වෙන්නේ,

අලුත් යන්ත්‍රයක්…

අලුත් Software එකක්…

අලුත් තාක්ෂණයක්…

අලුත් නිෂ්පාදනයක්…

ඒත් නව්‍යකරණය(innovation) කියන්නේ ඒ තරම් සීමිතව සිතිය යුතු දෙයක් නෙවෙයි.

අපි දැනට කරන දෙයක්, මීට වඩා හොඳින්, වේගයෙන්, පහසුවෙන්, අඩු වියදමකින් හෝ වැඩි වටිනාකමක් ඇතිව කරන්න නව අදහසක් ක්‍රියාවට නැංවීමත් නවයකරණයක්.

🏢 කාර්යාලයක උදාහරණයක් බලමු…

පුරවැසියෙක් සේවාවක් ලබාගන්න කාර්යාලයට එනවා.

එක් කවුන්ටරයකින් තොරතුරක් ගන්නවා.

ඊළඟ කවුන්ටරයට යනවා.

තවත් ලේඛනයක් ඕනේ කියනවා.

ආයෙත් පළමු ස්ථානයට යනවා.

අවසානයේ…

“හෙට එන්න.”

මේක අපිට සාමාන්‍ය දෙයක් වගේ පෙනෙන්න පුළුවන්.

ඒත් කෙනෙක් ඇවිත් අහනවා නම්,

“මේ පියවර පහ වෙනුවට පියවර තුනකින් මේ සේවාව දෙන්න බැරිද?”

එතැනින් නවයකරණය පටන් ගන්න පුළුවන්.

අලුත් ගොඩනැගිල්ලක් අවශ්‍ය නැහැ.

අලුත් යන්ත්‍රයක් අවශ්‍ය නැහැ.

සමහරවිට අවශ්‍ය වෙන්නේ…

අලුත් අදහසක් විතරයි.

🏭 කර්මාන්ත ශාලාවක?

එකම වැඩේ කරන සේවකයෙක් හැමදාම එකම දුරක් ඇවිදගෙන ගිහින් අමුද්‍රව්‍ය ගන්නවා.

“අපි හැමදාම මෙහෙමයි කරන්නේ.”

කෙනෙක් ප්‍රශ්නයක් අහනවා.

“අමුද්‍රව්‍ය ටික මෙයා ළඟට ගෙනත් දෙන්න බැරිද?”

විනාඩි කිහිපයක් ඉතිරි වෙනවා.

අනවශ්‍ය ගමන් අඩු වෙනවා.

වැඩි නිෂ්පාදනයක් ලැබෙනවා.

එතකොට?

නව්‍යකරණය(innovation) කියන්නේ විශාල දෙයක් වෙන්නම ඕනෙද?

නැහැ.

කුඩා වෙනසක්… විශාල ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

🏫 පාසලකත් එහෙමයි.

ගුරුවරයෙක් හැමදාම එකම ක්‍රමයට පාඩම උගන්වනවා.

ඒත් දරුවන්ගේ අවධානය අඩුයි.

කෙනෙක් අලුත් ක්‍රමයක් අත්හදා බලනවා.

කණ්ඩායම් වැඩක්.

ප්‍රශ්න-පිළිතුරු ක්‍රමයක්.

ප්‍රායෝගික ක්‍රියාකාරකමක්.

ඊළඟට දරුවන්ගේ සහභාගීත්වය වැඩි වෙනවා.

අලුත් දෙයක් නිර්මාණය කළාද?

සමහරවිට නැහැ.

ඒත් අලුත් ආකාරයකින් වටිනාකමක් නිර්මාණය කළා.

ඒත් නව්‍යකරණය,

🌱 එහෙනම් අපිට නවයකරණය අවශ්‍ය ඇයි?

18 වන කොටසෙන් අපි කතා කළේ ප්‍රතිඵල ගැන.

අපි අහුවා,

“අපි වැඩ කරනවා… ඒත් ප්‍රතිඵලය මොකක්ද?”

දැන් ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වූ තරම් නැත්නම්?

එතකොට අපිට තවත් ප්‍රශ්නයක් අහන්න වෙනවා.

“අපි කරන විදිහ වෙනස් කරලා බැලුවොත්?”

අන්න එතැනින් Innovation එනවා.

🔄 න්වයකරණය සහ ඵලදායීතාවය

නව්‍යකරණයේ වටිනාකම තියෙන්නේ අදහසක නෙවෙයි… ක්‍රියාවට නැංවූ වෙනස තුළයි.

අදහසක් 💡
↓
නව ක්‍රමයක් 🔄
↓
අඩු නාස්තියක්
↓
වැඩි වටිනාකමක්
↓
හොඳ ප්‍රතිඵලයක් 🎯

ඒ නිසා…

Innovation → Productivity → Results

මේ තුන එකිනෙකට සම්බන්ධයි.

🌏 ආයතනයකින් රටකට…

අපි මේ ලිපි මාලාවේදී කතා කරන්නේ එක ආයතනයක් ගැන විතරක් නෙවෙයි.

රාජ්‍ය ආයතනයක් වුණත්…
පෞද්ගලික ආයතනයක් වුණත්…
පාසලක් වුණත්…
රෝහලක් වුණත්…
ප්‍රජා සංවිධානයක් වුණත්…

එක් ආයතනයක් කරන කුඩා වැඩිදියුණු කිරීමක් තවත් ආයතනයකට ආදර්ශයක් වෙන්න පුළුවන්.

ආයතන ගණනාවක් එහෙම වෙනස් වුණාම…

සේවා හොඳ වෙනවා.
කාලය ඉතිරි වෙනවා.
නාස්තිය අඩු වෙනවා.
මිනිසුන්ගේ හැකියාව වැඩි වෙනවා.
ඵලදායීතාවය වැඩි වෙනවා.

අවසානයේ…

**ආයතන වෙනස් වෙනවා.

සමාජය වෙනස් වෙනවා.
රටක් ඉදිරියට යනවා.**

🧩 අපේ ගමනේ ඊළඟ පුරුක…

මේ වන විට අපි කතා කළා,

Leadership – දිශාව
Customers – වටිනාකම
Strategy – ගමන් මාර්ගය
People – ගමන ගෙන යන මිනිසුන්
Processes – වැඩ සිදුවන ආකාරය
Knowledge – අපි ඉගෙන ගන්න දේ
Results – අපි ළඟා වන ප්‍රතිඵල

දැන්…

Innovation

“මේක තවත් හොඳින් කරන්න අපිට පුළුවන් කොහොමද?”

කියන ප්‍රශ්නය අපේ ගමනට එකතු වෙනවා.

ඒ නිසා Business Excellence Framework – ආයතනික විශිෂ්ඨතා ආකෘතිය කියන්නේ එක එක කොටු වෙන වෙනම පුරවන ආකෘතියක් නෙවෙයි.

ඒවා එකිනෙක සම්බන්ධ කරමින්,

හොඳ වැඩක් → හොඳ ප්‍රතිඵලයක් → ඉගෙනීමක් → නව අදහසක් → තවත් හොඳ වැඩක්

බවට පත් කරන අඛණ්ඩ ගමනක්.

💭 අවසානයේ…

ඊළඟ වතාවේ ඔබේ ආයතනයේ කෙනෙක් කියනවා නම්,

“අපි මේක හැමදාම කරන්නේ මෙහෙමයි…”

ඉක්මනින් ඒක පිළිගන්න එපා.

තරහ වෙන්නත් එපා.

එකම එක ප්‍රශ්නයක් අහන්න…

“හොඳයි… ඒත් මීට වඩා හොඳින් කරන්න බැරිද?”

සමහරවිට…

ඒ ප්‍රශ්නයම ඔබේ ආයතනයේ ඊළඟ විශාල වෙනසේ ආරම්භය වෙන්න පුළුවන්.

“ නව්‍යකරණය (innovation) කියන්නේ අලුත් දේවල් හඹායාම පමණක්ම නොවෙයි…
අද කරන දේ හෙට මීට වඩා හොඳින් කරන්න, පාරිභෝගික තෘප්තිය උපරිම කරන්න බුද්ධිමත්ව සිතා, ක්‍රියාත්මක වීමයි..”

ඵලදායතාවය හරි තැනින්…
හොඳ ප්‍රතිඵලයක් ලැබුණු තැනින් ගමන නවතින්නේ නැහැ.
ඊළඟ වැඩිදියුණු කිරීම එතැනින් පටන් ගන්නවා.

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

18/09/2026

ඵලදායතාවය හරි තැනින්…

18 වන කොටස

**අපි වැඩ කරනවා…

ඒත් ප්‍රතිඵලය මොකක්ද?**

උදේ කාර්යාලයට ආවා…

ලිපි ලිව්වා.
ගොනු බැලුවා.
රැස්වීම් තිබුණා.
දුරකථන ඇමතුම් ගත්තා.
වාර්තා හැදුවා.

දවස ඉවරයි.

“අදත් ගොඩක් වැඩ කළා…”

අපිට එහෙම හිතෙන්න පුළුවන්.

ඒත් පොඩ්ඩක් නවතිලා අපි අපෙන්ම අහමු…

“අද අපි ගොඩක් වැඩ කළාද?
නැත්නම් ගොඩක් වටිනා ප්‍රතිඵලයක් නිර්මාණය කළාද?”

මේ දෙක එකම දෙයක්ද?

කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන්.

ඒත් දෝෂ සහිත නිෂ්පාදනත් වැඩි නම්?

පාසලක පාඩම් ගණන සම්පූර්ණ වෙන්න පුළුවන්.

ඒත් දරුවන් ඇත්තටම ඉගෙන ගත්තාද?

රෝහලක රෝගීන් විශාල සංඛ්‍යාවක් සේවය ලබා ගන්න පුළුවන්.

ඒත් ඔවුන්ට බලා සිටීමට සිදුවූ කාලය අඩු වුණාද?

රාජ්‍ය ආයතනයක ගොනු සිය ගණනක් අවසන් කළ හැකියි.

ඒත් පුරවැසියාට නැවත නැවත කාර්යාලයට එන්න සිදු වුණාද?

ඉතින්… වැඩේ අවසන් කළා කියන්නේ ප්‍රතිඵලය ලැබුණා කියන එකද?

මෙතෙක් අපි කතා කළේ වෙන වෙනම මාතෘකා ගැන වගේ පෙනුණත්, ඇත්තටම ඒවා එකම දාමයක පුරුක්. අපි අපේ ලිපි මාලාවේ 11 වන කොටසේ සිට කතා කළ මාතෘකා ටික ආයතනයක් විශිෂ්ටත්වයට පත් කරන සින්ගප්පුරුවේත් භාවිතා කරපු, ලෝකය පුරා භාවිතා කරන ආකෘතියක එකට එකක් බැඳුණු පුරුක්..

11 වන කොටස – Business Excellence Framework
👉 ආයතනයක් විශිෂ්ඨත්වය කරා ගෙන යන සමස්ත ආකෘතිය ගැන අපි මුලින්ම කතා කළා.

12 වන කොටස – Leadership | නායකත්වය
👉 දිශාව දෙන්නේ කවුද?

13 වන කොටස – Customers | පාරිභෝගිකයා
👉 අපි මේ වැඩ කරන්නේ කා වෙනුවෙන්ද?

14 වන කොටස – Strategy | උපායමාර්ගය
👉 අපි යන්නේ කොහෙද? ඒකට යන්නේ කොහොමද?

15 වන කොටස – People | මිනිසුන්
👉 ඒ ගමන ගෙන යන්නේ කවුද?

16 වන කොටස – Processes | ක්‍රියාවලි
👉 වැඩේ සිදුවෙන්නේ කොහොමද?

17 වන කොටස – Knowledge | දැනුම
👉 අපි කරන වැඩවලින් ඉගෙන ගන්නේ මොනවාද?

ඒ හැම දෙයක්ම හරියට සිදුවුණා නම්…

අවසානයේ ලැබෙන්නේ මොකක්ද?

ප්‍රතිඵල.

🎯 ප්‍රතිඵල කියන්නේ “ගණනක්” විතරක් නෙවෙයි

ප්‍රතිඵලයක් කියන්නේ,

වැඩි නිෂ්පාදනයක් වෙන්න පුළුවන්.

කාලය ඉතිරි කිරීමක් වෙන්න පුළුවන්.

වියදම අඩු කිරීමක් වෙන්න පුළුවන්.

දෝෂ අඩු කිරීමක් වෙන්න පුළුවන්.

පාරිභෝගික තෘප්තිය වැඩි වීමක් වෙන්න පුළුවන්.

සේවකයන්ගේ සහභාගීත්වය වැඩි වීමක් වෙන්න පුළුවන්.

නැත්නම්…

මිනිසෙකුගේ ජීවිතය පහසු කිරීමක් වෙන්නත් පුළුවන්.

ඒ නිසා,

ප්‍රතිඵල කියන්නේ අපි කොච්චර වැඩ කළාද කියන එක නොවෙයි.
අපි කළ වැඩෙන් කොච්චර වටිනාකමක් සමාජයට, රටට නිර්මාණය කළාද කියන එකයි.

🪞 ප්‍රතිඵල කියන්නේ ආයතනයේ කැඩපතක්

අපි හොඳ ප්‍රතිඵලයක් දැක්කාම,

“අපේ ක්‍රමය හොඳයි” කියලා කියන්න පුළුවන්.

ඒත් ප්‍රතිඵලය බලාපොරොත්තු වූ මට්ටමට නැත්නම්?

කෙනෙකුට දොස් පවරලා වැඩක් තියෙනවාද?

නැත්නම් අපි ආපහු බලන්න ඕනේ…

නායකත්වය හරිද?
පාරිභෝගික අවශ්‍යතාවය අපි තේරුම් ගත්තාද?
උපායමාර්ගය නිවැරදිද?
මිනිසුන්ට අවශ්‍ය හැකියාව තියෙනවාද?
ක්‍රියාවලිය නිවැරදිද?
අපි අපේ අත්දැකීම්වලින් ඉගෙන ගන්නවාද?

එතකොට අපිට තේරෙනවා…

**ප්‍රතිඵල කියන්නේ තනිව සලකා බලන එක් දෙයක් විතරක් නෙවෙයි.

ඒක මුළු ආයතනයේම තත්වය අපට පෙන්වන කැඩපතක්.**

🔄 ප්‍රතිඵලයෙන් ගමන ඉවරද?

නෑ.

හොඳ ප්‍රතිඵලයක් ලැබුණාම අපි අහන්න ඕනේ,

“මේක තවත් හොදීන් කරන්න පුළුවන්ද?”

ප්‍රතිඵලය අඩු නම්,

“ඇයි මෙහෙම වුණේ?”

එතැනින් ආයෙත් ඉගෙනීම පටන් ගන්නවා.

ඉගෙනීමෙන් වෙනසක් කරනවා.

වෙනසෙන් ක්‍රියාවලිය හොඳ කරනවා.

ක්‍රියාවලිය හොඳ වුණාම…

ඊළඟ ප්‍රතිඵලය තවත් හොඳ වෙනවා.

ඒ නිසා මේක එක දිශාවකට යන ගමනක් නෙවෙයි.

ප්‍රතිඵල → ඉගෙනීම → වැඩිදියුණු කිරීම → නැවත ප්‍රතිඵල

🌱 එහෙනම් “ආයතනික විශිෂ්ඨත්වය” කියන්නේ මොකක්ද?

අපි මේ ලිපි මාලාව පුරාම හොයමින් යන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරක්.

ආයතනයක් විශිෂ්ඨ වෙන්නේ එක හොඳ වැඩක් කළාම නෙවෙයි.

හොඳ නායකත්වයක්…
නිවැරදි පාරිභෝගික අවධානයක්…
පැහැදිලි උපායමාර්ගයක්…
ශක්තිමත් මිනිසුන්…
කාර්යක්ෂම ක්‍රියාවලි…
භාවිතා කරන දැනුම…
සහ අවසානයේ වටිනා ප්‍රතිඵල…

මේ සියල්ල එකට සම්බන්ධව ක්‍රියා කරන විටයි ආයතනයක් විශිෂ්ඨත්වය කරා ගමන් කරන්නේ.

ඒ නිසා අපි මේ කතා කරන්නේ එක එක “කොටු” ගැන නෙවෙයි.

අපි බලන්නේ…

“මේ සියල්ල එකට එකතු වෙලා වැඩ කළොත්, අපේ ආයතනය කොතැනකට ගෙන යන්න පුළුවන්ද?”

කියන එක ගැනයි.

ඒ තමයි Business Excellence Framework – ආයතනික විශිෂ්ඨතා ආකෘතියේ සැබෑ අදහස.

අවසානයේ අපි අපෙන්ම අහමු…

අපි දවස පුරාම වැඩ කරනවාද?

නැත්නම්…

වටිනා ප්‍රතිඵල නිර්මාණය කරනවාද?

අපේ ආයතනයේ වාර්තා ගොඩක් තියෙනවාද?

නැත්නම්…

ඒ වාර්තාවලින් වෙනසක් සිදුවෙනවාද?

අපි වැඩ ගොඩක් කරනවාද?

නැත්නම්…

අපි කරන වැඩ මිනිසුන්ට, ආයතනයට සහ රටට වටිනාකමක් එකතු කරනවාද?

"වැඩ ගොඩක් කිරීමෙන් ආයතනයක් ඵලදායී වෙන්නේ නැහැ…
නිවැරදි වැඩවලින් වටිනා ප්‍රතිඵල නිර්මාණය කිරීමෙන් තමයි ආයතනයක් ඵලදායී වෙන්නේ.”

ඵලදායතාවය හරි තැනින්…
ගමන තවම ඉවර නෑ.

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

18/09/2026

ඵලදායතාවය හරි තැනින්…

17 වන කොටස

අපි වැඩේ කරනවා… ඒත් අපි ඉගෙන ගන්නවද?

අපි හැමදාම වැඩ කරනවා.

උදේ කාර්යාලයට එනවා.
වැඩ ටික කරනවා.
ගැටලු එනවා.
ඒවා විසඳනවා.
හෙටත් ආයෙත් ඒ වගේම වැඩ කරනවා.

ඒත් කවදාවත් අපි අපෙන්ම මේ ප්‍රශ්නය අහලා තියෙනවද?

“අද අපි කරපු වැඩෙන් හෙට වැඩේ මීට වඩා හොඳින් කරන්න අපි යමක් ඉගෙන ගත්තද?”

හිතන්න…

රෝහලක එකම ආකාරයේ පැමිණිල්ලක් නැවත නැවතත් එනවා.

පාසලක එකම කාර්යය සම්බන්ධයෙන් ගුරුවරුන්ට නැවත නැවතත් ගැටලු ඇති වෙනවා.

කර්මාන්ත ශාලාවක එකම දෝෂය නැවත නැවතත් සිදුවෙනවා.

රාජ්‍ය කාර්යාලයක එකම ලේඛනය සම්බන්ධයෙන් ජනතාව නැවත නැවතත් ප්‍රශ්න කරනවා.

අපි ඒ හැම අවස්ථාවකම ගැටලුව විසඳනවා.

ඒත්… ඒ ගැටලුවෙන් අපි යමක් ඉගෙන ගන්නවාද?

දැනුම කියන්නේ පොතේ තියෙන දේ විතරක් නෙවෙයි.

අපි අවුරුදු ගණනාවක් වැඩ කරද්දී ලබන අත්දැකීම්…

ගැටලු විසඳද්දී හොයාගන්නා හොඳ ක්‍රම…

පාරිභෝගිකයන්ගෙන් ලැබෙන අදහස්…

වැරදිවලින් ඉගෙන ගන්නා පාඩම්…

දත්තවලින් හඳුනාගන්නා රටා…

ඒ හැම දෙයක්ම ආයතනයක දැනුමක්.

ඒ දැනුම එක් එක් පුද්ගලයාගේ මතකයේ විතරක් තිබුණොත්?

එය ආයතනයේ ශක්තියක් වෙන්නේ නැහැ.

උදාහරණයක් විදිහට,

අවුරුදු 20ක් වැඩ කරපු නිලධාරියෙක් ඉන්නවා.

එයාට වැඩේ ගැන හොඳ අත්දැකීමක් තියෙනවා.
ගැටලුවක් ආවොත් කොහොමද විසඳන්නේ කියලා දන්නවා.
කොහේද ප්‍රමාද වෙන්නේ කියලා දන්නවා.

ඒත් එයා හෙට විශ්‍රාම ගියාම?

ඒ දැනුමත් එයාත් එක්කම ගියා නම්… ආයතනයට මොකද වෙන්නේ?

අලුත් නිලධාරියා ආයෙත් මුල ඉඳන් ඉගෙන ගන්න ඕන.

ඒකත් ඵලදායීතාවයට බලපාන දෙයක්.

ඒ නිසා Knowledge Management කියන්නේ ලිපිගොනු ගොඩක් තියාගන්න එකක් විතරක් නෙවෙයි.

ඒ කියන්නේ…

දැනුම හඳුනාගැනීම → බෙදාගැනීම → භාවිතා කිරීම → ආරක්ෂා කිරීම → අලුත් දැනුම නිර්මාණය කිරීම.

එතකොට එක නිලධාරියෙක් දන්න දෙයක්,

මුළු ආයතනයටම වටිනා දෙයක් බවට පත්වෙනවා.

තවත් වැදගත් දෙයක් තියෙනවා.

“අපි හැමදාම මේ විදිහට තමයි කළේ.”

මේ වාක්‍යය අපි හැමෝම අහලා තියෙනවා.

ඒත් ඵලදායී ආයතනයක් මෙතැනින් නවතින්නේ නැහැ.

එහෙනම්, එයාලා අහනවා,

“අපි හැමදාම මෙහෙම කළාට… මීට වඩා හොඳින් කරන්න අපි ඉගෙන ගත්තේ මොනවද?”

ඒ ප්‍රශ්නය තමයි ආයතනයක් ඉගෙන ගන්න පටන් ගන්න තැන.

දැනුම තිබුණාට වැඩක් නැහැ… එය වැඩට යෙදවෙන්න ඕන.

ගොඩක් ආයතනවල දත්ත තියෙනවා.

වාර්තා තියෙනවා.

ලේඛන තියෙනවා.

රැස්වීම් තියෙනවා.

නමුත් ඒවායින් තීරණ ගන්නවාද?

ගැටලු නැවත ඇති නොවීමට ඒ දැනුම භාවිතා කරනවාද?

හොඳ ක්‍රමයක් හොයාගත්තොත් ඒක අනෙක් අයටත් කියලා දෙනවාද?

මෙන්න මෙතැනින් තමයි දැනුම ඵලදායීතාවය සදහා මෙවලමක් බවට පත්වෙන්නේ.

අපි කලින් කතා කළ දේවල් මතකද?

නායකත්වය අපට දිශාව දුන්නා.

පාරිභෝගිකයා අපි වැඩ කරන්නේ කා වෙනුවෙන්ද කියලා මතක් කළා.

උපායමාර්ගය අපි යන්නේ කොහෙද කියලා පෙන්වා දුන්නා.

මිනිසුන් ඒ ගමන යන බලය බවට පත්වුණා.

ක්‍රියාවලි ඒ වැඩේ සිදුවන ආකාරය තීරණය කළා.

දැන්…

දැනුම අපෙන් අහනවා,

“මේ ගමන යන අතරේ අපි ඉගෙන ගන්නේ මොනවද?”

ඒ ඉගෙන ගත් දේ ආයතනයේ ඊළඟ පියවරට භාවිතා කරනවාද?

මේ නිසා Business Excellence Framework එකේ Knowledge කියන්නේ තවත් වෙනම කොටුවක් විතරක් නෙවෙයි.

එය නායකත්වය, පාරිභෝගිකයා, උපායමාර්ගය, මිනිසුන් සහ ක්‍රියාවලි සමඟ සම්බන්ධ වෙන කොටසක්.

වැඩ කරනවා → අත්දැකීම ලබනවා → ඉගෙන ගන්නවා → දැනුම බෙදාගන්නවා → ක්‍රමය වැඩිදියුණු කරනවා → හොඳ ප්‍රතිඵලයක් ලබනවා.

ඒක තමයි ඵලදායී ආයතනයක ගමන.

අද පොඩි දෙයක් කරමු.

ඔබේ ආයතනයේ පසුගිය මාසයේ ඇති වූ එක් ගැටලුවක් මතක් කරගන්න.

ඒ ගැටලුව විසඳුවාද?

ඒකෙන් යමක් ඉගෙන ගත්තාද?

ඒ දැනුම වෙනත් කෙනෙකුට ලබා දුන්නාද?

ඒ දැනුම නිසා නැවත එම ගැටලුව ඇති නොවන විදිහට ක්‍රමය වෙනස් කළාද?

මේ ප්‍රශ්න හතරට “ඔව්” කියන්න පුළුවන් නම්… ඔබේ ආයතනය වැඩ කරනවා විතරක් නෙවෙයි.

ඔබේ ආයතනය ඉගෙන ගන්නවා.

ඒ තමයි විශිෂ්ටත්වය කරා යන ඊළඟ පියවර.

“අත්දැකීමක් ලැබීම දැනුමක් නොවෙයි…
ඒ අත්දැකීමෙන් ඉගෙන ගෙන, හෙට වැඩේ මීට වඩා හොඳින් කිරීමට ඒ දැනුම යොදා ගැනීමයි අපේ ආයතනයේ ඵලදායීතාව වෙනුවෙන් කළ යුතුම දෙය”

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

18/09/2026

ඵලදායතාවය හරි තැනින්…

16 වන කොටස

වැරැද්ද මිනිසාගේද… නැත්නම් ක්‍රමයේද?

අපි කවුරුත් කැමතියි වැඩක් හොඳින් සිද්ධ වෙනවා දකින්න.

ඒත් සමහර වෙලාවට වැඩේ හරියට වෙන්නේ නැහැ.

එතකොට අපි මුලින්ම කරන්නේ මොකක්ද?

කෙනෙක් හොයන එක.

“ඔයා අතින් තමයි මේක වෙලා තියෙන්නේ.”

“එයා හරියට වැඩ කරලා නැහැ.”

“මේ නිලධාරියා නිසා තමයි පරක්කු වුණේ.”

“කම්කරුවා හරියට වැඩ කරලා නැහැ.”

ඒත්…

අපි කවදාහරි නතර වෙලා, “මේ වැඩේ කරන ක්‍රමයේම ප්‍රශ්නයක් තියෙනවද?” කියලා හිතලා තියෙනවද?

අපි පොඩි උදාහරණයක් බලමු.

රෝහලකට රෝගියෙක් එනවා.

මුලින්ම ලියාපදිංචි වෙන්න ඕන.

ඊට පස්සේ තවත් තැනකට යන්න ඕන.

එතැනින් තවත් පෝරමයක්.

ඊට පස්සේ තවත් අත්සනක්.

අන්තිමේදී වෛද්‍යවරයා හමුවෙන්න පැය ගණනක් යනවා.

එතකොට අපි කියනවා,

“කාර්ය මණ්ඩලය වැඩ ටිකක් හෙමින් කරනවා.”

හැබැයි…

කාර්ය මණ්ඩලය කාර්යක්ෂමව වැඩ කළත්,
ක්‍රමයම දිග වැඩි නම්?

පාසලකට යමු.

ගුරුවරයෙක් එකම තොරතුර විවිධ ලේඛනවලට නැවත නැවත ඇතුළත් කරනවා.

ඇයි?

“හැමදාම කළේ මෙහෙමයි.”

එතකොට ගුරුවරයාගේ කාලය යන්නේ දරුවෙකුට ඉගැන්වීමටද?

නැත්නම්…

එකම තොරතුර නැවත නැවත ලියන්නද?

කර්මාන්තශාලාවකට ගියොත් තවත් උදාහරණයක් තියෙනවා.

නිෂ්පාදනයක් එක තැනකින් තවත් තැනකට ගෙන යනවා.

ආයෙත් වෙන තැනකට.

ආයෙත් ආපසු.

අපි අහනවා,

“මේක මෙච්චර දුර ගෙනියන්නේ ඇයි?”

පිළිතුර වෙන්න පුළුවන්,

“මෙහෙම තමයි අපි මෙච්චර කාලයක් කළේ.”

ඒත් කවුරුහරි අලුතින් අහනවා නම්…

“ඇයි?”

අන්න එතැනින් වෙනසක් පටන් ගන්න පුළුවන්.

රාජ්‍ය කාර්යාලයකට එන පුරවැසියාටත් මේ අත්දැකීම තියෙන්න පුළුවන්.

එක වැඩක් කරගන්න තැන් කිහිපයකට යන්න වෙනවා.

එකම තොරතුර කිහිප වතාවක් දෙන්න වෙනවා.

එකම ලේඛනය නැවත නැවත ඉල්ලනවා.

අවසානයේ පුරවැසියා කියනවා,

“මේ වැඩේට මෙච්චර වෙලාවක් යන්න ඕනෙද?”

අපිට කියන්න පුළුවන්,

“නීතිය තමයි.”

“ක්‍රමය තමයි.”

“අපිට කරන්න දෙයක් නැහැ.”

නමුත්…

ඇත්තටම ඒ හැම පියවරක්ම අවශ්‍යද?

කියලා බලලා තියෙනවද?

මේ තමයි Process ගැන අපි කතා කළ යුතු තැන.

Process කියන්නේ අමාරු වචනයක් නෙවෙයි.

වැඩක් ආරම්භයේ සිට අවසානය දක්වා සිදු වන ආකාරය.

අපි කරන හැම වැඩකටම ක්‍රමයක් තියෙනවා.

ප්‍රශ්නය තියෙන්නේ…

ඒ ක්‍රමය තාමත් හොඳම ක්‍රමයද?

කියන එකයි.

අපිට සමහර වෙලාවට වැඩේ වැරදුණාම මිනිසාව වෙනස් කරන්න හිතෙනවා.

නමුත් සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ මිනිසා වෙනස් කිරීම නොවෙයි.

වැඩ කරන ක්‍රමය වෙනස් කිරීම.

අන්න එතැනින් තමයි ඵලදායීතාවයට ලොකු ඉඩක් ලැබෙන්නේ.

අපි මීට කලින් කතා කළා මතක ඇති…

නාස්තිය අඩු කිරීම ගැන.

බලා සිටින කාලය…

අනවශ්‍ය ගමන්…

නැවත නැවත කරන වැඩ…

අනවශ්‍ය පියවර…

වැරදි නිසා නැවත කරන වැඩ…

මේවා හැම එකක්ම අපේ Process එක ඇතුළේ හැංගිලා තියෙන්න පුළුවන්.

ඒ නිසා සමහර වෙලාවට,

මිනිසුන්ට තවත් මහන්සි වෙන්න කියන එකට වඩා,
ඔවුන්ට තියෙන වැඩ කරන ක්‍රමය සරල කරන එකෙන් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.

ඒත් Process එකක් හොඳද නරකද කියලා තීරණය කරන්නේ කොහොමද?

මට හිතෙන්නේ අපිට ඉතා සරල ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්.

මේ පියවර අවශ්‍යද?

මේ වැඩේ දෙවරක් කරන්න ඕනෙද?

මේකෙන් පාරිභෝගිකයාට වටිනාකමක් ලැබෙනවද?

මේක තවත් ඉක්මනින් කරන්න පුළුවන්ද?

මේ පියවර ඉවත් කළොත් මොකද වෙන්නේ?

අන්න ඒ ප්‍රශ්න අහන්න පටන් ගත්තම…

අපිට අපේම වැඩ කරන ක්‍රමය අලුත් ඇස් දෙකකින් බලන්න පුළුවන්.

හැබැයි මේක කියන්නේ “හැම පියවරක්ම අයින් කරන්න” කියන එක නෙවෙයි.

සමහර පියවර නීතිය නිසා අවශ්‍යයි.

සමහර පියවර ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍යයි.

සමහර පියවර ගුණාත්මකභාවය තහවුරු කරන්න අවශ්‍යයි.

ඒ නිසා හොඳ Process එකක් කියන්නේ පියවර අඩුම Process එක නෙවෙයි.

අවශ්‍ය පියවර පමණක් තියෙන Process එක.

අපි පසුගිය ලිපියේ කතා කළේ People ගැන.

මිනිසුන් ආයතනයක සැබෑ ශක්තිය කියලා අපි කිව්වා.

ඒත්…

හොඳ මිනිසුන්ට නරක ක්‍රමයක් දුන්නොත්, ඔවුන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්ද?

ඒ නිසා People සහ Process දෙක එකට යන්න ඕන.

හොඳ මිනිසුන් + හොඳ ක්‍රියාවලියක් = හොඳ ප්‍රතිඵලයක්.

මේ තමයි අපේ ඊළඟ ගමන.

Business Excellence Framework එකේ Processes කියන කොටස අපිට මතක් කරන්නේත් මේ සරල කතාවමයි.

ආයතනයක වැඩ කරන ක්‍රමය,

පාරිභෝගිකයාට වටිනාකමක් දෙන්න,
මිනිසුන්ට පහසුවෙන් වැඩ කරන්න,
නාස්තිය අඩු කරන්න,
ගුණාත්මකභාවය තහවුරු කරන්න,
හොඳ ප්‍රතිඵල ලබාදෙන්න

උදව් කරන විදිහට සකස් වෙලා තියෙනවද කියලා අපි බලන්න ඕන.

ඒ නිසා අද ඔබේ ආයතනයේ එක වැඩක් තෝරගන්න.

ලොකු වැඩක් ඕන නැහැ.

පාරිභෝගිකයෙකුට සේවාවක් ලබාදෙන එකක් වෙන්න පුළුවන්.

පාසලේ ලේඛනයක් සකස් කරන එකක් වෙන්න පුළුවන්.

රෝහලේ රෝගියෙකුගේ ගමනක් වෙන්න පුළුවන්.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්.

ප්‍රජා වැඩසටහනක් වෙන්න පුළුවන්.

ඊට පස්සේ එක ප්‍රශ්නයක් අහන්න.

“මේක අපි හැමදාම කරන විදිහටම කරන්න ඕනෙද?”

සමහරවිට පිළිතුර “ඔව්” වෙන්න පුළුවන්.

ඒත්…

සමහරවිට ඔබට හමුවෙයි,

“අපිට මේක මීට වඩා හොඳින් කරන්න පුළුවන්.”

ඒ පුංචි අවබෝධය තමයි…

ඵලදායතාවයේ ඊළඟ පියවර.

**“වැරැද්දක් දැක්කම මිනිසා දිහා විතරක් බලන්න එපා…

වැඩේ සිදුවන ක්‍රමය දිහාත් බලන්න.”**

*****

අපේ ගමන තවම අවසන් නැහැ…

මේ ලිපි පෙළ හරහා අපි මේ වන විට කතා කරමින් සිටින්නේ Business Excellence Framework එකේ විවිධ අංග පිළිබඳවයි.

ඒත් අපේ අරමුණ මේ සංකීර්ණ ආකෘතිය පාඨකයාට ඉදිරිපත් කිරිම පමණක් නොවෙයි.

ආයතනයක දිනපතා වැඩ කරන අපි හැමෝටම, මේ එක් එක් අංගය අපේ වැඩට සම්බන්ධ කරගෙන සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ගමන තේරුම් අරන් යන්නයි අපේ උත්සාහය.

නායකත්වය තනිවම ප්‍රමාණවත් නැහැ.

පාරිභෝගිකයා තේරුම් ගැනීමත් තනිවම ප්‍රමාණවවත් නැහැ.

හොඳ උපායමාර්ගයක් තිබුණත්, හොඳ මිනිසුන් සිටියත්, ක්‍රියාවලිය දුර්වල නම් අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගන්න අමාරුයි.

මේ සියල්ල එකිනෙක සම්බන්ධ වූ විටයි ආයතනයක් සැබෑ විශිෂ්ටත්වය කරා ගමන් කරන්නේ.

ඒ නිසා අපි මේ ලිපි පෙළේ ඉදිරියට යන සෑම කොටසකදීම, Framework එකේ එක් එක් අංගය වෙන වෙනම හඳුනාගන්නා අතරම, ඒවා එකිනෙක සම්බන්ධ වී ඵලදායී හා විශිෂ්ට ආයතනයක් ගොඩනඟන්නේ කෙසේද යන්නත් සරල උදාහරණ සමඟ කතා කරමු.

මේ ගමනේදී ඔබගේ අදහසත් අපට ඉතාම වැදගත්.

ඔබේ ආයතනයේදී මෙවැනි අත්දැකීමක් තිබුණාද?
ඔබට හිතෙන වෙනත් උදාහරණයක් තිබෙනවාද?
නැත්නම් මේ ලිපි පෙළේ ඉදිරියේදී අපි කතා කළ යුතු කරුණක් තිබෙනවාද?

ඔබේ අදහස් සහ යෝජනා Comment එකක් ලෙස අප සමඟ බෙදාගන්න.

ඔබේ එක් අදහසක්, මේ ලිපි පෙළ තවත් කෙනෙකුට වඩාත් ප්‍රයෝජනවත් කරවන්න පුළුවන්.

අපි එකට ඉගෙන ගනිමු…
එකිනෙකාගේ අත්දැකීම් බෙදාගනිමු…
ආයතන වඩාත් ඵලදායී කරමු.

ඵලදායිතාවය හරි තැනින්…
අපේ ගමන තව දුරයි.

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

18/09/2026

ඵලදායීතාවය හරි තැනින්…

15 වන කොටස

ආයතනයක වටිනාම දේ… මොකක්ද?

අපි ආයතනයක් දියුණු කරන්න හිතනකොට මුලින්ම මතක් වෙන්නේ මොනවාද?

අලුත් ගොඩනැගිල්ලක්…

නවීන පරිගණක…

අලුත් යන්ත්‍ර…

නව තාක්ෂණයක්…

නැත්නම් අලුත් ක්‍රමයක්…

ඒ හැම දෙයක්ම වැදගත්.

ඒත් මට හිතෙනවා අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා කියලා.

ඒ තමයි… ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක.

අපි හිතමු හොඳම පරිගණකයක් ආයතනයකට ගෙනාවා.

හොඳම software එකක් දැම්මා.

වැඩේ ඉක්මනින් කරන්න පුළුවන් නව ක්‍රමයක් හඳුන්වා දුන්නා.

ඒත් ඒක භාවිතා කරන කෙනාට ඒ ගැන අවබෝධයක් නැත්නම්?

නැත්නම්,

“අපි මෙහෙමම කරගෙන ආවා. මේක වෙනස් කරන්න ඕනෙ ඇයි?”

කියලා හිතනවා නම්?

අලුත් තාක්ෂණය තිබුණාට…

අපි බලාපොරොත්තු වෙන ඵලදායතාවය ලැබෙයිද?

ඒ නිසා තමයි මම අද අපේ ලිපි මාලාවේ People ගැන කතා කරන්න හිතුවේ.

මොකද ආයතනයක් කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි.

යන්ත්‍ර ටිකක් නෙවෙයි.

ගොනු ගොඩක් නෙවෙයි.

ආයතනයක් කියන්නේ ඒ හැම දෙයක්ම එකතු කරලා වටිනාකමක් බවට පත් කරන මිනිසුන්.

ඒත් අපි වැඩ කරන මිනිසුන් දිහා බලන්නේ කොහොමද?

“මේ මගේ රාජකාරිය.”

“මට කියලා තියෙන දේ මම කරනවා.”

“මගේ වැඩේ ඉවරයි.”

කියන තැනින් නතර වෙනවද?

නැත්නම්…

“මේ වැඩේ මීට වඩා හොඳින් කරන්න පුළුවන්ද?”

කියලා අහනවද?

මට හිතෙන්නේ මෙන්න මේ පුංචි වෙනස තමයි ආයතනයක ලොකු වෙනසකට මුල වෙන්නේ.

උදාහරණයක් විදිහට…

එකම කාර්යාලයක එකම වැඩේ කරන දෙන්නෙක් ඉන්නවා.

එක් කෙනෙක් හැමදාම කරන්නේ තමන්ට දීලා තියෙන වැඩේ.

අනෙක් කෙනා ඒ වැඩේ කරන ගමන් හිතනවා,

“මේ ගොනුව මේ තරම් තැන් ගණනාවකට යන්න ඕනෙ ඇයි?”

“මේ අත්සන ඇත්තටම අවශ්‍යද?”

“පාරිභෝගිකයාට මේක තවත් ඉක්මනින් ලබා දෙන්න බැරිද?”

“අපි හැමදාම මේක කරන්නේ මේ විදිහටමද?”

කියලා.

මේ දෙන්නා අතර වෙනස මොකක්ද?

වැටුපේ ලොකු වෙනසක් වෙන්න අවශ්‍ය නැහැ.

තනතුරේ වෙනසක් වෙන්නත් අවශ්‍ය නැහැ.

වෙනස තියෙන්නේ ඔවුන් වැඩේ දිහා බලන විදිහේ.

ඒ නිසා ඵලදායී ආයතනයකට අවශ්‍ය වෙන්නේ වැඩ කරන මිනිසුන් විතරක් නෙවෙයි.

හිතන මිනිසුන්.

ගැටලුවක් දැක්කම ඒක වසන් නොකරන මිනිසුන්.

අදහසක් තිබුණම ඒක කියන්න බය නැති මිනිසුන්.

වැරැද්දක් වුණාම කාටද දොස් කියන්නේ කියලා හොයනවා වෙනුවට,

“ඊළඟ වතාවේ මේක නොවෙන්න අපි මොනවාද කරන්න ඕන?”

කියලා හිතන මිනිසුන්.

හැබැයි එවැනි මිනිසුන් ඉබේම බිහිවෙන්නේ නැහැ.

ආයතනයක් ඒ සඳහා පරිසරය හදන්න ඕන.

කෙනෙක් හොඳ අදහසක් කිව්වම,

“ඔයාගේ වැඩේ කරගෙන ඉන්න.”

කියන ආයතනයකින් අලුත් අදහස් එන්නේ නැහැ.

වැරැද්දක් කළාම හැමෝම ඉදිරියේ දොස් කියන ආයතනයකින් අලුත් දෙයක් කරන්න මිනිසුන් ඉදිරිපත් වෙන්නේ නැහැ.

ඒ වෙනුවට,

“ඔයාට හිතෙන විදිහ කියන්න.”

“මේක තවත් හොඳින් කරන්න පුළුවන්ද බලමු.”

“හොඳ අදහසක් නම් උත්සාහ කරලා බලමු.”

කියන පරිසරයක් තිබුණොත්…

මිනිසුන්ගේ හැකියාව ආයතනයට ලැබෙන්න පටන් ගන්නවා.

ඒ නිසා People කියන්නේ සේවකයන්ට වැටුප් ගෙවීම විතරක් නෙවෙයි.

ඔවුන්ට ඉගෙන ගන්න අවස්ථාව දීම.

ඔවුන්ගේ හැකියාව දියුණු කිරීම.

හොඳ වැඩක් කළාම අගය කිරීම.

තීරණ ගැනීමේදී ඔවුන්ගේ අදහස් ඇගයිම,

වගකීම් දීම.

ඒ වගේම…

තමන් මේ ආයතනයේ වැදගත් කොටසක් කියලා දැනෙන්න සැලැස්වීම.

මේ සියල්ලම People පැත්තට අයිති වෙනවා.

අපි මේ ලිපි මාලාවේ මුල ඉඳන් කතා කළේ ඵලදායතාවය ගැන.

නාස්තිය අඩු කරමු කිව්වා.

කාලය ඉතිරි කරමු කිව්වා.

වැඩ පහසු කරමු කිව්වා.

පාරිභෝගිකයාට වැඩි වටිනාකමක් දෙමු කිව්වා.

ඒ හැම දෙයක්ම කරන්න ඉන්නේ කවුද?

මිනිසුන්.

ඒ නිසා මිනිසුන්ගේ දැනුම, අදහස්, හැකියාව සහ උනන්දුව නොසලකා ඵලදායතාවය ගැන කතා කරන්න බැහැ.

Business Excellence Framework එකේ People කියන කොටස අපිට මතක් කරන්නේත් මේ සරල කතාවමයි.

ආයතනයක ප්‍රතිඵල හොඳ වෙන්න නම්, ඒ ප්‍රතිඵල හදන මිනිසුන් හොඳින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් ආයතනය හදන්න ඕන.

එහෙම බැලුවොත්…

ආයතනයක වටිනාම සම්පත පරිගණකය නෙවෙයි.

යන්ත්‍රය නෙවෙයි.

ගොඩනැගිල්ල නෙවෙයි.

ඒ හැම දෙයක්ම හොඳින් භාවිතා කරලා වටිනාකමක් හදන්න පුළුවන් මිනිසුන්.

ඒ නිසා අද අපි අපෙන්ම එක ප්‍රශ්නයක් අහමු.

අපේ ආයතනයේ ඉන්නේ නිකම්ම වැඩ කරන මිනිසුන්ද…

නැත්නම් වැඩේ තවත් හොඳින් කරන්න හිතන මිනිසුන්ද?

ඒ ප්‍රශ්නයට අපි දෙන පිළිතුර…

අපේ ආයතනයේ අනාගතය ගැනත් බොහෝ දේ කියාවි.

**“මිනිසුන් ආයතනයේ සම්පතක් විතරක් නොවෙයි…

ඔවුන් තමයි ආයතනයේ වෙනස ඇති කරන්නේ.”**

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

18/09/2026

ඵලදායතාවය හරි තැනින්…

14 වන කොටස

වැඩ කරනවා… ඒත් අපි යන්නේ කොහෙද?

අපි හැමෝම කැමතියි අපේ ආයතනයේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා දකින්න.

ගොනු එකින් එක අවසන් වෙනවා.
ලිපි යවනවා.
රැස්වීම් පැවැත්වෙනවා.
ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.

දවස අවසානයේ බලනකොට…

“අද නම් හොඳට වැඩ කළා.”

කියලා අපිට හිතෙන්න පුළුවන්.

ඒත් පොඩ්ඩක් නතර වෙලා තවත් ප්‍රශ්නයක් අහමු.

“අපි මේ හැම වැඩක්ම කරන්නේ අපේ ආයතනය කොහෙට අරන් යන්නද?”

අපි පසුගිය ලිපි දෙකේ කතා කළේ මේ ගමනේ වැදගත් සන්ධිස්ථාන ගැන.

මුලින්ම නායකත්වය ගැන කතා කළා.

ආයතනයකට නායකත්වයක් අවශ්‍ය ඇයි?

ගමනට දිශාවක් අවශ්‍ය නිසා.

ඊළඟට අපි බැලුවේ පාරිභෝගිකයා දිහා.

අපි වැඩ කරන්නේ කා වෙනුවෙන්ද?

අපේ වැඩේ අවසානයේ වටිනාකම ලැබෙන්නේ කාටද?

දැන් මෙතැනින් තවත් පුංචි ප්‍රශ්නයක් මතුවෙනවා.

හරි… අපි යන්න ඕන තැනත් දන්නවා.
කා වෙනුවෙන් යන්න ඕනද කියලත් දන්නවා.
එතකොට… එතැනට යන්නේ කොහොමද?

මෙන්න මෙතැනදී තමයි උපායමාර්ගය – Strategy අපේ කතාවට එකතු වෙන්නේ.

උදාහරණයක් ගමු.

අපි යාළුවෝ කට්ටියක් එක්ක ගමනක් යන්න තීරණය කළා කියලා හිතමු.

“අපි ගමනක් යමු” කියන එක විතරක් ප්‍රමාණවත්ද?

නැහැ.

කොහෙද යන්නේ?
කා එක්කද යන්නේ?
කොහොමද යන්නේ?
කවදද යන්නේ?
ඇයි අපි එහේ?
මොනවද අරන් යන්නේ?

මේ වගේ ගොඩක් දේවල් දැනගන්න ඕන, සූදානම් වෙන්න ඕනේ.

එතැනට ගියාම කරන්න ඕන මොනවාද?

ඒකත් දැනගන්න ඕන.

ඒ වගේම,

සුදුසුම තීරණ ගන්නත් ඕන.

ආයතනයකටත් ඒකම තමයි..

“අපි අනාගතයේ කොතැනට යන්නද හදන්නේ?”

කියන එක තමයි අපේ දැක්ම – Vision.

“අපි කවුද? අපි කරන්නේ මොනවාද?”

කියන එක තමයි අපේ මෙහෙවර – Mission.

ඒ දෙක හොඳින් පැහැදිලි වුණාම ඊළඟ ප්‍රශ්නය එනවා.

“එහෙනම් එතැනට යන්නේ කොහොමද?”

ඒකට පිළිතුර හොයන එක තමයි Strategy.

ඒ නිසා Strategy කියන්නේ ලස්සන පොතක් හදන එක නෙවෙයි.

PowerPoint එකක්, ගොනුවක් හදලා Save කර තැබීමත් නෙවෙයි.

Strategy කියන්නේ තෝරාගැනීමක්.

“අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.

ඒත් මේ වෙලාවේ
අපි කළ යුතු වැදගත්ම හා අත්‍යාවශ්‍යම සුදුසුම දේ මොකක්ද?”

කියලා තීරණය කිරීම.

මොකද…

අපිට හැම දෙයක්ම එකවර කරන්න බැහැ.

කාලය සීමිතයි.
මුදල් සීමිතයි.
මිනිස් සම්පත් සීමිතයි.

ඒ නිසා හොඳ Strategy එකක් කියන්නේ,

වැඩ වැඩි කරන එකක් නොවෙයි.
වැදගත් වැඩ තෝරා දෙන එකක්.

මෙතැනදී මට අපේ ඵලදායිතාවය ගැන තිබෙන අදහසක් නැවත මතක් වෙනවා.

අපි කලින් කතා කළා වගේ…

වැඩක් කරන එක විතරක් ප්‍රමාණවත් නැහැ.

නිවැරදි වැඩේද කරන්නේ?

ඒක අවශ්‍යම වැඩක්ද?

ඒකෙන් පාරිභෝගිකයාට වටිනාකමක් ලැබෙනවද?

කියලා බලන්න ඕන.

එතකොට තමයි Strategy එකත් ඵලදායිතාවයත් එක තැනකට එන්නේ.

අපි මේ ලිපි මාලාවේ කතා කරන Business Excellence Framework එකත් මේ දේවල් එකිනෙකින් වෙන් කරලා බලන්නේ නැහැ.

නායකත්වය දිශාව පෙන්වනවා.

පාරිභෝගිකයා වටිනාකම පෙන්වනවා.

Strategy ඒ දෙක අතරින් අපේ ගමන තීරණය කරනවා.

ඒ ගමනේදී අපේ මිනිසුන්, ක්‍රියාවලි, දැනුම සහ අවසානයේ ලැබෙන ප්‍රතිඵල ගැන අපි ඊළඟට කතා කරමු.

ඒ නිසා අද අපි අපෙන්ම අහමු.

“අපේ ආයතනයේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා.
ඒත්… අපි යන්නේ කොහෙද?”

ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තියෙනවා නම්…

අපි වැඩ කරන්නේ නිකම්ම නෙවෙයි.

අපි ගමනක් යනවා.

ඒ ගමනට දිශාවක් තියෙනවා.
අරමුණක් තියෙනවා.
මාර්ගයක් තියෙනවා.

ඒ තමයි ඵලදායිතාවය හරි තැනින් පටන් ගන්න තවත් වැදගත් තැනක්.

**“වැඩ ගොඩක් කිරීමෙන් පමණක් ආයතනයක් ඉදිරියට යන්නේ නැහැ.

නිවැරදි දිශාවකට වැඩ කිරීමෙන් තමයි ආයතනයක් ඉදිරියට යන්නේ.”**

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

18/09/2026

ඵලදායිතාවය හරි තැනින්…

13 වන කොටස

අපි වැඩ කරන්නේ කා වෙනුවෙන්ද?

එක දවසක ඔබට ඔබේ සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් කාර්යාලයකට යන්න සිද්ධ වෙනවා.

පෝලිමක් තියෙනවා.

කවුන්ටරයෙන් කවුන්ටරයට යන්න වෙනවා.

“මේ ලිපිය මෙතැනින් නෙවෙයි... අර පැත්තට යන්න.” කියනවා

“මේකේ අත්සනක් නැහැ.”

“මේ ලේඛනයත් අරගෙන එන්න.”

කියලා කිහිප වතාවක් ආපහු යන්න එන්න වෙනවා.

අවසානයේ කොහොම හරි වැඩේ ඉවර වෙනවා.

ඒත් ඔබ කාර්යාලයෙන් එළියට එන්නේ...

“වැඩේ නම් වුණා. ඒත් මේ වැඩේ මෙච්චර අමාරු වෙන් කර ගන්න ඕනෙද?”

කියන හැඟීමත් එක්ක.

අපි ටිකකට අන්න ඒ හැඟීම එක්ක පාරිභෝගිකයා පැත්තෙන් හිතමු.

අපි නිලධාරීන් විදියට කාර්යාලයට ආවම බොහෝ වෙලාවට බලන්නේ,

“මගේ වැඩේ හරියට කළාද?”

කියලයි.

ඒක වැරදි නැහැ.

නමුත් ඵලදායී ආයතනයක් තවත් ප්‍රශ්නයක් අහනවා.

“මගේ වැඩේ හරියට කළාට පස්සේ, සේවාව ගන්න ආපු කෙනාට මොනවා ලැබුණාද?”

කාලය ඉතිරි වුණාද?

වැඩේ පහසු වුණාද?

නැවත නැවත එන්න සිද්ධ වුණේ නැද්ද?

නිවැරදි සේවාව ලැබුණාද?

මේක තමයි පාරිභෝගිකයා මධ්‍යයේ තැබීම කියලා කියන්නේ.

පාරිභෝගිකයා කියන්නේ කවුද?

“පාරිභෝගිකයා” කිව්වම අපිට මතක් වෙන්නේ බඩුවක් මිලදී ගන්න කෙනෙක්.

ඒත් රාජ්‍ය ආයතනයකට ආවොත්?

උප්පැන්න සහතිකයක් ගන්න එන අම්මා...

ඉඩම් ප්‍රශ්නයක් විසඳගන්න එන ගොවියා...

ව්‍යාපාරයක් පටන් ගන්න අවසරයක් ගන්න එන තරුණයා...

උදව්වක් බලාපොරොත්තුවෙන් කාර්යාලයට එන වැඩිහිටියා...

ඒ හැමෝම අපේ සේවාව ලබන මිනිස්සු.

ඒ නිසා අපි ඔවුන්ව “පාරිභෝගිකයා” කියලා වෙන් කරලා බලනවාට වඩා,

“මගේ වැඩේ අවසානයේ වටිනාකම ලබන අපේ ආයතනයේම කේන්ද්‍ර ය

කියලා හිතුවොත් වඩාත් හොඳයි.

එහෙම හිතන්න පටන් ගත්තොත්...

අපිට මේ අපේ සේවය ගන්න පාර්ශවයේ පැත්තෙන් සමහර දේවල් පේන්න පටන් ගන්නවා.

“මේ අත්සන ඇත්තටම අවශ්‍යද?”

“මේ ලිපිය මේ මේස තුනකට යවන්න ඕනෙද?”

“මේ තොරතුර එක පාරක් අරගෙන පද්ධතියේ තියාගන්න බැරිද?”

“මේ කෙනාට මේ වැඩේ වෙනුවෙන් තුන් වතාවක් එන්න ඕනෙද?”

මෙන්න මෙතැන තමයි පාරිභෝගික අවශ්‍යතාවය අනුව ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට පටන් ගන්නේ.

ඒකෙන් පාරිභෝගිකයාට විතරද වාසිය?

නැහැ.

පාරිභෝගිකයාගේ අපහසුතාවයක් අඩු කළාම,

ආයතනයේ අනවශ්‍ය වැඩකුත් අඩු වෙන්න පුළුවන්.

පියවරක් අඩු කළාම,

සේවකයාගේ කාලයත් ඉතිරි වෙනවා.

වැරදි අඩු කළාම,

නැවත වැඩ කරන්න සිදුවන වැඩ කාලයත් අඩු වෙනවා.

පැමිණිලි අඩු වුණාම,

ස්වකයාගේ වැඩ පීඩනයත් අඩු වෙන්න පුළුවන්.

ඒ නිසා...

පාරිභෝගිකයාට හොඳ සේවාවක් දෙන එක කියන්නේ සේවකයාටත් හොඳ වැඩ පරිසරයක් හදන ක්‍රමයක්.

ඊළඟට අපි රට ගැනත් හිතමු.

එක් කාර්යාලයකින් පුරවැසියෙකුගේ පැයක් ඉතිරි වුණා කියලා හිතන්න.

ඒක ලොකු දෙයක් වගේ නොපෙනෙන්න පුළුවන්.

ඒත් එවැනි ආයතන සිය ගණනක් තිබුණොත්?

දවසකට පුරවැසියන් දහස් ගණනකගේ කාලය ඉතිරි වුණොත්?

ව්‍යාපාරිකයෙක් අනවශ්‍ය වාර දෙකක් කාර්යාලයට එන්න ඕනෙ නැත්නම්?

රාජ්‍ය සේවකයෙක් එකම වැඩේ නැවත නැවත කරන්න ඕනෙ නැත්නම්?

ඒ ඉතිරි වන කාලයත් රටේ සම්පතක්.

අපි බොහෝ වෙලාවට ඵලදායිතාවය කියන්නේ මුදල් ඉතිරි කිරීම විතරයි කියලා හිතනවා.

නමුත්...

මිනිසෙකුගේ කාලය ඉතිරි කිරීමත් ඵලදායිතාවයක්.
සම්පත් නාස්තිය අවම කිරීමත් ඵක්දයිතවයක්..

ඒ නිසා පාරිභෝගිකයාගේ පැමිණිල්ල දෙස වෙනස් විදිහට බලමු.

කෙනෙක් අපේ සේවාව ගැන පැමිණිලි කළාම,

“මෙයාට කිසිම දෙයක් හොඳ නෑ.”

කියලා හිතන එක ලේසියි.

ඒ වෙනුවට,

“මෙයා කියන දේ ඇතුළේ අපේ වැඩේ හදාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද?”

කියලා අහමු.

සමහරවිට ඒ පැමිණිල්ල තුළ අපිට නොපෙනුණු ගැටලුවක් පෙන්වනවා වෙන්න පුළුවන්.

එතැනින්,

අදහසක් ලැබෙනවා.
ගැටලුව හඳුනාගන්නවා.
ක්‍රියාවලිය වෙනස් කරනවා.
නැවත බලනවා.

මේක තමයි අඛණ්ඩ වැඩිදියුණු කිරීම.

අවසානයේ මේකයි කතාව...

පාරිභෝගිකයා මධ්‍යයේ තැබූ ආයතනයක්,

පාරිභෝගිකයාට හොඳ සේවාවක් දෙනවා.

ඒ අතරම අනවශ්‍ය වැඩ අඩු කරගන්නවා.

සේවකයාගේ කාලය ඉතිරි කරනවා.

වැරදි අඩු කරනවා.

සම්පත් ඉතිරි කරනවා.

අවසානයේ ඒ සියල්ල එකතු වෙන්නේ...

රටේ ඵලදායිතාවයට.

ඒ නිසා මට හිතෙන්නේ,

“පාරිභෝගිකයා මධ්‍යයේ තැබීම කියන්නේ පාරිභෝගිකයා සතුටු කිරීම විතරක් නෙවෙයි. ඔහුට වටිනාකමක් ලැබෙන විදිහට අපේ ආයතනයම වෙනස් කිරීම වගේම ආයතනයක්, රටක් විදියට අපි අපේ වටිනාකම් වැඩි කර ගැනීමක්."

අපි ඊළඟ වතාවේ අපේ කාර්යාලයේ සේවාවන් ගැන මේ ප්‍රශ්නය අහමු...

“අපි කරන මේ වැඩේ අපි වෙනුවෙන් විතරද? නැත්නම් කෙනෙකුට වටිනාකමක් ලබා දෙන්නද?”

ඒ ප්‍රශ්නයට අවංක පිළිතුරක් හොයාගන්න පුළුවන් නම්,
ඵලදායීතාවය හරි තැනින් පටන් ගන්නවා.

ඊළඟ කොටසින් අපි උපායමාර්ගය (Strategy) ගැන කතා කරමු.

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

18/09/2026

ඵලදායිතාවය හරි තැනින් – 12 වන කොටස

ආයතනයක් තුළ ඵලදායී සංස්කෘතියක් ගොඩනඟන්නට නායකත්වයේ වගකීම

පසුගිය ලිපියේදී අපි කතා කළේ ඵලදායී ආයතනයක් කියන්නේ මොන වගේ ආයතනයක්ද කියන දේ පිළිබඳව.

ඒ ගැන කතා කරනකොට අපිට හමුවුණු වැදගත්ම කරුණක් තමයි...

නායකත්වය.

ඒ නිසා අද අපි ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහමු.

ආයතනයක මිනිසුන් ඵලදායීව වැඩ කරනවාද නැද්ද කියන එකට නායකත්වය කොච්චර බලපානවාද?

අපි හැමෝම දැකලා තියෙනවා...

එකම ආයතනයේ,
එකම නීති යටතේ,
එකම සම්පත් සමඟ,

එක අංශයක් ඉතා හොඳින් වැඩ කරනවා.

තවත් අංශයක් එතරම් හොඳින් වැඩ කරන්නේ නැහැ.

ඇයි?

සමහරවිට වෙනස තියෙන්නේ මිනිසුන්ගේ හැකියාවල නෙවෙයි.

නායකත්වයේ හැසිරීම තුළ.

🟦 නායකත්වය කියන්නේ නියෝග දීම විතරක්ද?

නායකයා කියන්නේ...

“මේක කරන්න.”

“ඒක කරන්න එපා.”

“මේක අදම ඉවර කරන්න.”

කියන කෙනෙක් විතරක් නම්...

ඒක නායකත්වයේ එක් කොටසක් වෙන්න පුළුවන්.

හැබැයි ඵලදායී නායකත්වය ඊට වඩා ගොඩක් දුර යනවා.

ඵලදායී නායකයා අහනවා...

“අපි මේක කරන්නේ ඇයි?”

“මේකෙන් කාටද වටිනාකමක් ලැබෙන්නේ?”

“මේ වැඩේ තවත් හොඳින් කරන්න පුළුවන්ද?”

“මගේ කණ්ඩායමට මේක හොඳින් කරන්න මගෙන් මොන වගේ සහයක්ද අවශ්‍ය?”

මෙන්න මෙතැනින් තමයි
ඵලදායී සංස්කෘතියක් ගොඩනැගෙන්න පටන් ගන්නේ.

🎯 පළමුව – දිශාව පෙන්වන්න

ආයතනයක හැමෝම කාර්යබහුල වෙලා හිටියාට...

ඒ හැමෝම එකම දිශාවකට ගමන් නොකරනවා නම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා නායකයා මුලින්ම පැහැදිලි කරන්න ඕනේ,

“අපි යන්නේ කොහෙටද?”

අපේ අරමුණ මොකක්ද?
අපේ ප්‍රමුඛතාවය මොකක්ද?
අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද?

දිශාව පැහැදිලි වුණාම...

මිනිසුන්ට වැඩ කරන්න විතරක් නොවෙයි,

අරමුණක් ඇතිව වැඩ කරන්නත් පුළුවන්.

👥 දෙවනුව – මිනිසුන් සමඟ වැඩ කරන්න

ආයතනයක් කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි.

ආයතනයක් කියන්නේ මිනිසුන්.

ඒ නිසා නායකයා මිනිසුන්ගෙන් වැඩ ගැනීම විතරක් නොකර,

ඔවුන්ගේ හැකියාවන් හඳුනාගන්න ඕන.

පුහුණු කරන්න ඕන.
අදහස් අහන්න ඕන.
වගකීම් දෙන්න ඕන.
වැරදිවලින් ඉගෙනගන්න අවස්ථාව දෙන්න ඕන.

මොකද...

මිනිසුන්ට වටිනාකමක් දැනෙන තැන, ඔවුන් ආයතනයට වටිනාකමක් එකතු කරන්න පටන් ගන්නවා.

💡 තුන්වනුව – “හැමදාම කළේ මෙහෙමයි” කියන සිතුවිල්ල වෙනස් කරන්න

ආයතනයක ලොකුම බාධාවක් සමහරවිට සම්පත් හිඟය නෙවෙයි.

“අපි හැමදාම මේක කරන්නේ මෙහෙමයි.”

කියන සිතුවිල්ල.

ඵලදායී නායකයා ඒ වෙනුවට අහනවා...

“මේ වැඩේ මීට වඩා හොඳින් කරන්න පුළුවන් කොහොමද?”

අනවශ්‍ය පියවරක් ඉවත් කරන්න පුළුවන්ද?

කාලය අඩු කරන්න පුළුවන්ද?

නාස්තිය අඩු කරන්න පුළුවන්ද?

තාක්ෂණය භාවිත කරන්න පුළුවන්ද?

පාරිභෝගිකයාට වැඩේ පහසු කරන්න පුළුවන්ද?

මෙතැනින් තමයි නව්‍යකරණයට දොර විවෘත වෙන්නේ.

📊 හතරවනුව – වැඩ කළාද කියලා නෙවෙයි, ප්‍රතිඵලය බලන්න

නායකයෙක් අහනවා...

“වැඩේ ඉවරද?”

තවත් නායකයෙක් අහනවා...

“වැඩේ හරියට වුණාද?”

ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.

පුහුණුවක් පැවැත්වුවා කියන එක, ඒකට පිරිස සම්බන්ධ වීම කියන්නේ

පුහුණුවේ ප්‍රතිඵලයක් නෙවෙයි.

පුහුණුවෙන් මිනිසුන්ගේ දැනුම හෝ කුසලතාව වැඩි වුණාද?

ඒකයි වැදගත්.

ලිපි 100ක් නිකුත් කළාද?

ඒක ක්‍රියාකාරකමක්.

ඒ ලිපිවලින් අවශ්‍ය සේවය ජනතාවට ඉක්මනින් ලැබුණාද?

ඒක ප්‍රතිඵලයක්.

ඒ නිසා ඵලදායී නායකයාගේ ප්‍රශ්නය,

“අපි මොනවා කළාද?”
කියන එකෙන් නතර වෙන්නේ නැහැ.

“අපි කළ දේවලින් මොන වෙනසක් ඇති වුණාද?”

කියන තැනට යනවා.

📚 පස්වනුව – ඉගෙන ගන්න සංස්කෘතියක් හදන්න

ආයතනයක වැරැද්දක් වුණාම...

කෙනෙක් හොයලා දොස් කියන එක පහසුයි.

හැබැයි ඵලදායී නායකයා තවත් ප්‍රශ්නයක් අහනවා.

> “මේ වැරැද්ද නැවත සිදු නොවෙන්න අපිට මොනවා වෙනස් කරන්න පුළුවන්ද?”

ඒ නිසා වැරැද්දක් කියන්නේ හැමවිටම දඬුවමක් ලැබිය යුතු දෙයක් නෙවෙයි.

සමහර වෙලාවට...

වැඩිදියුණු වීමට ලැබුණු පාඩමක්.

ඒ වගේ සංස්කෘතියක් ඇති වුණාම මිනිසුන් තමන්ගේ ගැටලු සඟවන්නේ නැහැ.

කතා කරනවා.

අදහස් දෙනවා.

ඉගෙන ගන්නවා.

ආයතනයේ සමස්ත ක්‍රියවලින් තුළට ඉගෙන ගත් දැනුම භාවිතා වෙන්න පටන් ගන්නවා.

❤️ අවසානයේ – නායකයා ආදර්ශයක් වෙන්න ඕන

නායකයා කාලය ගැන කතා කරනවා නම්...

තමන් කාලයට වැඩ කරන්න ඕන.

ගුණාත්මකභාවය ගැන කතා කරනවා නම්...

තමන් ගුණාත්මකභාවය පෙන්වන්න ඕන.

අවංකභාවය ගැන කතා කරනවා නම්...

තමන් අවංක වෙන්න ඕන.

මොකද...

නායකයා කියන දේට වඩා, නායකයා කරන දේ මිනිසුන් ඉගෙන ගන්නවා.

ඒ නිසා ආයතනික සංස්කෘතිය බොහෝවිට ලියවෙන්නේ ආයතනයේ බිත්තිවල නෙවෙයි.

නායකයාගේ දිනපතා හැසිරීම් තුළ.

එහෙනම් ඵලදායී නායකත්වය කියන්නේ මොකක්ද?

මිනිසුන්ට නියෝග දීලා වැඩ කරවන එක නෙවෙයි.

නිවැරදි දිශාව පෙන්වලා,
මිනිසුන් සම්බන්ධ කරගෙන,
වැඩ කරන ක්‍රමය වැඩිදියුණු කරලා,
නව්‍යකරණයට ඉඩ දීලා,
ප්‍රතිඵල මැනලා,
ඉගෙන ගනිමින් ඉදිරියට යන සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.

මේක තමයි Business Excellence Framework එකේ Leadership කියන කොටස අපිට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහ.

ඒත්...

නායකයා තනියම ආයතනයක් ඵලදායී කරන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය එතැනින් පටන් ගන්නවා.

“නායකයා කොච්චර හොඳින් වැඩ කළත්... ඔහුගේ සේවය අවසානයේ ලැබෙන්නේ කාටද?”

පාරිභෝගිකයාට.

ඒ නිසා ඊළඟ කොටසින් අපි කතා කරමු...

“ඵලදායී ආයතනයක පාරිභෝගිකයා ඇත්තටම කවුද?”

ඵලදායිතාවය හරි තැනින්...

නායකත්වය කියන්නේ මිනිසුන්ව පාලනය කිරීම නොවෙයි.
ඔවුන්ට තමන්ගේ උපරිම හැකියාවෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීමයි.

මේ ලිපි ඔබත් කියවන විට සහෘද ඔබට මේ පිළිබද ඔබේ දැනෙන හැඟෙන අදහස්, යෝජනා, චෝදනා කරුණාකර මෙහි Comment කරන්න. එය මා හට මිල කළ නොහැකි මග පෙන්වීමක් වනු ඇත.

සටහන – අමිල අතුකෝරාල Amila Prabath Athukorala

Address

Wanduramba

Website

Alerts

Be the first to know and let us send you an email when Entrepreneurial Association Wanduramba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Entrepreneurial Association Wanduramba:

Shortcuts

Share

Category