24/09/2025
පාර්ලිමේන්තු මන්ත්‍රීලට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මිසක්, පොදු මහා මාර්ග භාවිතා කිරීමේ වරප්‍රසාද නැත.
සාමාන්‍ය ටැක්සි රියදුරෙක් ඔතැන නැවැත්වුවා නම්, පොලිස් නිළධාරියා පොතේ හැටියටම නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
එනිසා කරුණාකරලා, උද්දච්ච අර්චුනාට එරෙහිව ට්‍රැෆික් නඩුවක් පවරන්න. මොකද ඒ හෑල්ලු වෙන්නෙ සමස්ත නීතිය හා වරප්‍රසාදිත බව.
එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරියාට කරුණු ගොනු කරන්න.
15/09/2025
පොලිස්කාරයා සහ රණවිරුවා අතර වෙනස මොකක්ද?
පොලිස් නිළධාරීන් රාජකාරි කරන්නෙ සාමාන්‍ය සිවිල් සමාජය ඇතුළෙ. එතකොට නිතර දෙවේලෙ එයාලගෙ හැසිරීම් සහ ස්වභාවයන් ජනතාවට අත්විඳින්න ලැබෙනවා.
පාරෙ යන හැම කෙනෙක්ටම ට්‍රැෆික් පොලීසියේ හැසිරීම පේනවා. යුක්තිය වෙනුවෙන් පොලීසියකට ගියාම එයාලා දක්වන, පෙන්වන හැසිරීම් අත්දකිනවා.
නිරන්තරයෙන් මාධ්‍ය මගින් පොලිස් නිළධාරීන්ගේ අකටයුතුකම්, බලය මුදාහැරීම් වගේ නොහොබිනාකම් පෙන්වනවා.
කාලයක් තිස්සෙ ඒ අපකීර්තිමත් භාවිතාව නිසා පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් මහජනතාව තුල තියෙන්නෙ අප්‍රසාදයක්. ඒ නිසයි පොලිස්කාරයා, කොස්සා, %$ # පොලීසිය වගේ නම් වලින් කථා කරන්නෙ.
හැබැයි, පොලීසිය එක දවසකට රාජකාරියෙන් ඈත්වුණොත්, රටට අත්වෙන ඉරණම හිතාගන්න බෑ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටක.
එතකොට හමුදා නිළධාරීන්?
හමුදා නිළධාරීන් සිවිල් සමාජයත් එක්ක මුහුවෙන්නෙ ඉතාම අඩුවෙන්. කෑම්ප් ඇතුලට පොලීසි වලට වගේ සිවිල් අයට යන්න බෑ. එයාලගෙ ඇඳුම, යුධ උපකරණ, ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ කරන සටන් නිසා එයාලා ගැන තියෙන්නෙ වීරත්වය මුසු හැඟීමක්.
ඒකෙන් කියැවෙන්නෙ නෑ, පොලීස් නිළධාරීන් වෙතින් සිද්දවෙන ජාතියේ වැඩ හමුදා නිළධාරීන් අතින් වෙන්නෙ නැහැ කියලා. එහෙම වුණත් ඒවා සිවිල් සමාජයට expose වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.
අන්න ඒ වාසිය මත, ජරාජීර්ණ දේශපාලන ව්‍යාපෘතිවලට එයාලව පාවිචි කරනවා. අදටත් ඒක වමාර වමාර තලු මරන දේශපාලකයන්ට ඒක න්‍යායක් වෙලා.
රණවිරු දඩයම, විදුලි පුටුව වගේ වචන තවම දේශපාලන ගණිකා වෘත්තියේ යෙදෙනවා. ඉතාම සිල්ලරට අලෙවි කරන්න සූදානමින්, බඩවියත රැකගන්නන් විසින් තවමත් මේ හිඟන්නගෙ තුවාලෙ විකුණනවා.
රණවිරුවා, පොලිස්කාරයා පමණක් නෙමෙයි දෙවියන් වහන්සේට ද නීතිය සමාන විය යුතුය. එසේ නොවන තාක් කල් රණවිරුවන්, සුවවිරුවන්, රටවිරුවන් සිල්ලරට විකිණෙනු ඇත.
රටක අඛණ්ඩ පැවැත්මට නම්, සියලු වෘත්තිකයන් අවශ්‍යය. රාජ්‍යයේ ආරක්ශාව සම්බන්ධයෙන් Army, Navy, Air force, Police, CSD අනෙක් වෘත්තීන්ට වඩා විශේෂයි. ඒක වෘත්තීයකට එහා ගිය සේවයක්, කැපකිරීමක් බව සිහි තබාගෙන, ඔවුන් දේශපාලන පොර පිටියේ අලෙවි නොකරමු.
08/09/2025
තෙවෙනි මාර්ගයේ දේශපාලන න්‍යාය යනු කුමක්ද?
තෙවෙනි මාර්ගය කියන්නේ සම්පූර්ණ සමාජවාදයේ (socialism) රාජ්‍යමය පාලනය හා නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ (liberalism) සම්පූර්ණ ස්වාධීනතාවය අතරින් ගමන් කරන මධ්‍යස්ථ මාර්ගයක්. එහි අරමුණ සමාජ සාධාරණය සහ වෙළඳපොළ කාර්යක්ෂමතාව යන දේශපාලන න්‍යායන් දෙකෙහි සාධනීය ගුණාංග ඒකාබද්දව යාන්ත්‍රණය කිරීමයි. සමාජ අසමානතා අඩු කිරීමටත්, මධ්‍ය පන්තිය සහ අඩු ආදායම් කාණ්ඩ ආරක්ෂා කිරීමටත් රජය වගකීම් දරණ අතර, පුද්ගලික ක්ෂේත්‍රයේ නවෝත්පාදන, ආයෝජන හා ව්‍යාපාරික වර්ධනය මඟින් ආර්ථිකය ඉදිරියට ගෙන යාම මෙහි මූලික අරමුණයි.
න්‍යායමය පදනම
තෙවෙනි මාර්ගය සම්පූර්ණයෙන්ම නව සංකල්පයක් නොවන අතර, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (social democracy) සහ නව ලිබරල් ආර්ථික න්‍යාය (neoliberalism) අතර ඒකාබද්දව ක්‍රියාත්මක කිරීමේ උත්සාහයකි.
සමාජ සාධාරණය – සියලු පුරවැසියන්ට සමාන අවස්ථා ලබාදීම. සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවාවන් නොමිලේ සැපයීම, පිළිසරණක් නොමැති පුරවැසියන් හා මධ්‍යම පන්තිය ආරක්ෂා කරගැනීම සහ ආදායම් විෂමතාව අඩු කිරීම.
වෙළඳපොළ කාර්යක්ෂමතාව – පුද්ගලික අංශය හා නිදහස් වෙළඳපොළේ ගතිකත්වය, නවෝත්පාදන, තාක්ෂණය, ව්‍යාපාරික වර්ධනය සහ ආයෝජන මඟින් ආර්ථික ප්‍රගතිය උද්දීපනය කිරීම. මෙමඟින් ආර්ථිකය තුළ “නියාමන නිදහස” (regulated freedom) සැලසීම මත තරඟකාරීත්වය හරහා කාර්යක්ෂමතාව වැඩිකර පුරවැසියාට ගුණාත්මක සේවාවන් සැපයීම.
ක්‍රියාත්මක වන්නේ කෙසේද ?
රාජ්‍යය – සමාජ ආරක්ෂණ ජාල සැපයීම.
උදාහරණ: නොමිලේ අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු සේවා, පාරිසරික ආරක්ෂාව වැනි....
නීති, ප්‍රතිපත්ති සම්පාදනය, නියාමනය සහ අවශ්‍ය අවස්ථාවල ආර්ථික සම්බන්ධීකරණය ස‍්ඳහා මැදිහත්වීම.
පුද්ගලික ක්ෂේත්‍රය – වෙළඳපොළේ සජීවීත්වය වර්ධනය කරමින් ඉදිරියට යාම.
නවෝත්පාදන, තාක්ෂණය, නිෂ්පාදන, සේවා හා ව්‍යාපාරික අවස්ථා වර්ධනය.
රැකියා උත්පාදනය සහ ආදායම් උපයාගැනීම.
අරමුණ කුමක්ද ?
ආර්ථික වර්ධනයත්, සමාජ සාධාරණයත් සමාන්තරව වර්ධනය කරමින් පවත්වා ගැනීම.
මෙම දේශපාලන න්‍යාය අත්හදා බැලූ රටවල් මොනවාද ?
ටෝනි බ්ලෙයාර් - එක්සත් රාජධානිය “New Labour” Third Way
බිල් ක්ලින්ටන් - එක්සත් ජනපදය “New Democrats”
ස්කැන්ඩිනේවියානු රටවල් - ස්වීඩන්, ඩෙන්මාක්, ෆින්ලන්ඩ් “Social Democracy”
තෙවෙනි මාර්ගය යනු සමාජ සාධාරණය හා වෙළඳපොළ කාර්යක්ෂමතාව එකට ගැලපීමේ යථාර්ථවාදී මාර්ගයක් ලෙස සැලකිය හැක. එය සම්පූර්ණ සමාජවාදය හා සම්පූර්ණ නිදහස් වෙළඳපොළ දෙකම ප්‍රතික්ෂේප කරන අතර, නව දේශපාලනික හා ආර්ථික මගක් සොයාගැනීමේ විවෘත මාර්ගයක් වේ. නමුත්, එය සම්පූර්ණව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ගෝලීය හා දේශීය අභියෝග නොකඩවා පවතී.
06/09/2025
මාකඳුරේ මධුෂ්...... ඇත්තටම මධූෂ්ව ඇල්ලුවද, අහුවුණාද?
මධූෂ් කියන්නෙ පාතාල ලෝකෙ ගෝඩ් ෆාදර්. එහෙව් එකාව හංඟපු පිස්තෝලක් හොයන්න මහ පාන්දර එක්කගෙන ගිහින් සුපුරුදු නාට්‍ය දාලා අවසන් කරනවා.
අන්න ඒ නිසයි පොලීසියට බොඩි කැම් අනිවාර්ය කරන්න ඕනි....
මධූෂ් එදා කට ඇරියා නම්, දකුණු පළාතේ දේශපාලන කරන්න ඉතිරි වෙන්නෙ බොහොම අතලොස්සයි. අඟුණුකොළපැලැස්සට තව බිල්ඩින් දෙක තුනක් වත් හදන්න වෙනවා.
අද කෙහෙල්බද්දර පද්මෙ සහ ගෝලයො සෙට් එකම අහුවෙලා ඉන්නවා..... ඒ දෙන කට උත්තර, පාපොච්චාරණ මත කරුණු මතුකර ගන්නවා.
ඒ එක්කම රණවිරු ගාය ඔඩුදුවන්න පටන් අරන්, ඉතිහාසය විෂය ගැන සංවේදී වෙන්න පටන් අරන්, විපක්ෂයේ සමගිය මතුවෙන්න පටන් අරන්.....
“ගේම් එක දන්න ජෙහාන්ට,
මම රූල්ස් කියන්න ඕනි නෑනෙ.....“
යුගය අවසන් වෙමින් යනවා..... ජෙහාන්ලා, මල්දෙණියලා, තෙන්කෝන්ලා ඔක්කොම කලබල වෙන්නෙ ඒකයි.....
02/09/2025
ගරු කෘෂිකර්ම අමාත්‍ය Lal Kantha සහෝදරයාගේ අවධානය පිණිසයි!
----------------------------------------------------------
රටින් ළූණු මෙට්‍රික් ටොන් 300,000ක් විතර ගේනවා. ලංකාවේ මෙට්‍රික් ටොන් 50,000ක් විතර හදනවා කියලා ඊයෙ වසන්ත ඇමතිතුමා කිව්වා.
එතකොට ආසන්නව 15%ක් විතර තමා ලංකාවෙ ළූණු හදන්නෙ. ඒකෙන් ඔය ආහාර සුරක්ෂිතතාව කියන තර්කය අහෝසි වෙනවා.
ළූණු ගොවියා බේරගන්න කියලා. අතිරේක රුපියල් 40ක බද්දක් ගහනවනෙ ලංකාවෙ ළූණු ගැළවෙන කාලයට. (නැත්තම් තියෙන්නෙ රු.10ක බද්දක්)
නිකමට හිතුවොත්, දේශීය ළූණු ගොවියා හදන මෙට්‍රික් ටොන් 50,000 හැදුවෙ නෑ කියලා. එතකොට මෙට්‍රික් ටොන් 350,000ක් ම රටින් ගේන්න වෙනවා. (දැනට යන ඩොලර් ප්‍රමාණෙට වඩා තව අමතරව 1/7 ක් ඩොලර් යන එක වෙනවා)
ළූණු වවන අය පව් නෙ. ඒ නිසා එයාලට මොකුත්ම කරන්නෙපා කියලා, එයාල ළූණු වවන භූමියට සාපේක්ෂව එයාල සාමාන්‍යෙන් ගන්න අස්වැන්න ගණන් හදලා කිලෝ එකකට රු. 40 ගාණෙ ගෙවනවා, එයාල මොකුත්ම කරන්නෙ නෑ. ගෙදරට වෙලා උඩ බලන් ඉන්න තියෙන්නෙ. එතකොට 50,000 x 40 x 1,000 = බිලියන 2යි. රජයට අමතරව බිලියන 2ක් යනවා ළූණු ගොවියන්ට දීමනාවක් ගෙවන්න.
මේ බිලියන 2 රජය හොයන්නත් එපැයි. ඒක හොයන්න වෙන්නෙ ආනයනය කරන්න වෙන ළූණු මෙට්‍රික් ටොන් 350,000ට බදු ගහලනෙ.
රු.2,000,000,000 ÷350,000,000kg = රුපියල් 5.71 ක අමතර බද්දක් ගැහුවා නම් ඒ ගාණ ගෙවන්න පුළුවන්.
ඒත් දැන් ගහන අමතර බද්ද රුපියල් 40ක්. වෙනස මේක මාස 4ක් විතර තමයි වදින්නෙ, 5.71ක් ගැහුවොත් ඒක ස්ථාවර බද්දක් විදියට වර්ෂය පුරාම තියෙනවා දේශීය ළූණු ගොවියා බේරාගැනීමේ බද්ද විදිහට. එතකොට වෙළෙන්දන්ට අනිසි ලාබ ලබන්න බෑ. මේ බිලියන 2 ගොවියන්ට දීලා ඇත්තටම වැඩක් ඇති වැඩක් කරපන් කියන්නත් රජයට පුළුවන්.
ළූණු දැන් දඹුල්ලෙ වවන්නත් බෑ හරියට, දේශගුණය වෙනස්වෙලා නිසා. දැන් දඹුල්ල ඉස්සරට වඩා ගොඩක් රස්නෙ අඩුයි. වියළි ගතිය අඩුයි.මොරගහකන්දෙන් පස්සෙ.
මහාපරිමාණෙන් ළූණු වවන එකම පැත්තනෙ දඹුල්ල බකමූණ.ඒ පැත්තෙ තව දුරටත් ළූණු සාර්ථක වගාවක් නෙමෙයි.
කෘෂිකර්ම නිළධාරීන් විසින් වැඩකට ඇති විකල්පයක් ඉක්මනින් සොයාගන්න ඕන.
උපුටා ගැනීම Yamil Thisara ගේ බිත්තියෙන්.
28/08/2025
කීර්තිය පසෙකලා හෘද සාක්ෂියට ප්‍රියවන්න ❤️🇱🇰
#එක්සත්ලංකා #ஐக்கியலங்கா
27/08/2025
ජෝශප් විජේ චන්ද්‍රසේකර් හෙවත් තලපති විජේ 1974 ජුනි 22වැනිදා උපන් වයස අවුරුදු 50 ක ඔහු විවාහක දෙදරු පියෙකි. ඔහුගේ පියා එස්. ඒ. චන්ද්‍රසේකර් නමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකුද පසුබිම් ගීත ගායකයකු ද වෙයි. මව ශෝභා චන්ද්‍රසේකර් ද සිනමා පසුබිම් ගායිකාවකි. වයස අවුරුදු 18 දී තම පියා අධ්‍යක්ෂණය කළ Naalaiya Theerpu (1992) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පිවිසි විජේ මේ වනවිට දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකි. දකුණු ඉන්දීය සිනමාව, රසික උන්මාදයෙන් එදා සිට අද දක්වාම පැමිණ ඇති බව වාණිජ චිත්‍රපට නළුවකු වන විජේගේ ජනප්‍රියතාවයෙන් පිළිඹිබු වේ.
තමිල්නාඩුවේ වික්‍රවාන්දි හි දී ‘තමිළාහ වෙට්රි කළහම්’ (TVK) නමින් ආරම්භ කළ තම පක්ෂයේ පළමු රැළිය අමතමින් අදහස් දැක්වූ විජේ ‘වෛරී දේශපාලනයට මා විරුද්ධයි. පළිගන්නා දේශපාලනයට මා විරුද්ධයි. දේශපාලකයන් යනු ජනතා සේවකයන්‘ යැයි පැවසීය. රැස්වීම් භූමිය තුල සමාජ සාධාරණය සහ නිදහස වෙනුවෙන් සටන් වැදුණු අම්බෙඩ්කාර්, කාමරාජ්, අන්ජලයි අම්මාක්, වේළු නච්චියාර් වැනි දැවැන්තයන්ගේ කටවුට් සිටුවා තිබූ අතර, ඔවුන් තම පක්ෂයේ පරමාදර්ශී චරිත බව ද විජේ පවසා සිටියේය. තම පක්ෂයේ ප්‍රතිපත්ති ලෙස ද්විභාෂා ප්‍රතිපත්තිය, සමාජ සාධාරණය, සමානාත්මතාව, නිරාගමික බව, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටින බවට ද ජනතාව ඉදිරියේ පොරොන්දු විය
එහෙත් විජේගේ TVK පක්ෂය නැඟී සිටින්නේ තමිල්නාඩුවේ බලය පතුරුවාගෙන සිටින නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයට එරෙහිව බව ඔහුගේ සම්පූර්ණ කථාව තුල මැනවින් ගැබ්ව තිබිණි. ඒ අනුව ඔහු වේදිකාව මත සිට පැවසූ සියළු කාරණා හුදෙක් දේශපාලන පොරොන්දු හා ඒ මතින් රසික උන්මාදය අවුස්සා ඇද බැඳ තබා ගැනීම බව පවසමින් දේශපාලන විවේචකයන් විසින් විජේට චෝදනා එල්ල කෙරීය.
දශක ගණනාවක් තිස්සේ මාරුවෙන් මාරුවට තමිල්නාඩු දේශපාලනයේ බලයේ සිටින ප්‍රබල පක්ෂ දෙකකි. ඒ, අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඩී.එම්.කේ යන පක්ෂ දෙකය. අද වන විට තමිල්නාඩුවේ බලයේ සිටින්නේ ඩී.එම්.කේ. පක්ෂයයි. තමිල්නාඩු මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ එම පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින්ය. ඔහු තමිල්නාඩුවේ මහ ඇමති එම්. කරුණානිධිගේ පුත්‍රයා ය.
කලින් කලට පුවත් මවමින් තමිල්නාඩු මහ ඇමති ධූර මෙතෙක් දරා ඇති අයගෙන් බොහෝ දෙනෙකු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූවන් ය. මින් අවස්ථා හතරක දී තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත් එම්. කරුණානිධි දකුණු ඉන්දීය සිනමාවේ තිර පිටපත් රචකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් වූවෙකි. පස් වතාවක් මහ ඇමතිනිය ලෙස කටයුතු කළ ජෙයලලිතා ජයරාම් ද දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ නිළියකි. ඔවුන්ට අමතරව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. සහ ඔහුගේ මරණයෙන් හිස් වූ මහ ඇමති ධූරයට පත් වූ ඔහුගේ බිරිඳ වූ ජානකී රාමචන්ද්‍රන් ද සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමඟ දේශපාලනයට පිවිසි සිනමා තරු ය.
ගෙවුණු දශක කිහිපය තුළ වැඩිම කාලයක් තමිල්නාඩුවේ මහ ඇමති ධූරය හෙබ වූ ජයලලිතා ජයරාම් සහ මුතුවේල් කරුණානිධි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත විය. එහි දී ඔවුන් ඉන්දීය මධ්‍යම රජයට දැඩි ලෙස බලපෑම් කළේය. වරෙක ජයලලිතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙස යි.
1974 වසර වනවිට ඉන්දියාවේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ අගමැතිනිය ලෙස කටයුතු කළ සිරිමා බණ්ඩාරනායක දෙපළ දූපත සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළා ය. 1974 ජූනි මාසයේ දී අත්සන් කළ එම ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට අයත් කොටසක් බව ඉන්දීය රජය පිළි ගන්නා බවත්, එම දූපතේ අයිතිය ලබා ගැනීම සඳහා යළි සටන් නොකරන බවත් ඉන්දීය රජයේ ස්ථාවරය වුණා. එම නිසා ජෙයලලිතාගේ උත්සාහය ව්‍යවර්ථවී ගියා. කච්චතිව් හි අයිතිය දිගට ම ශ්‍රී ලංකාව සතු ව පැවතුණා.
සිනමා තරුවක් ලෙස ලැබෙන රසික ප්‍රසාදය ලබා ගනිමින්, ප්‍රධාන පක්ෂ දෙක අභිබවා තෙවන බලවේගය ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ බලය අත්පත් කරගැනීමට විජේ විසින් සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් ඇත. එහෙත් එය ප්‍රමාණවත් ද නැද්ද යන්න ඔහුට ද උභතෝකෝටිකයකි. ලක්ෂ ගණනක් වූ වෙරළබඩ ධීවර ජනයාගේ චන්දය ද දිනාගත හැකි නම් විජේට තමිල්නාඩු මහ ඇමති පුටුව දුර නොවනු ඇත.
ජෙයලලිතා හා කරුණානිධි විසින් තම දේශපාලන ජිමික් එකක් ලෙස කච්චතිව් භාවිතා කරමින්, සෑම මැතිවරණයකදීම කච්චතිව් ප්‍රධාන මාතෘකාව කරගනිමින් වෙරළබඩ කතෝලික ජනයා සහ ධීවර ප්‍රජාවගේ ඡන්දය තමන් වෙත දිනා ගැනීමට පහුගිය දශක කිහිපය පුරාවටම කටයුතු කළේය.
ජෝශප් විජේ චන්ද්‍රසේකර් හෙවත් තලපති විජේ ද අනුගමනය කරන්නේ එම ක්‍රියා පටිපාටියම ය. තමිල්නාඩු ප්‍රාන්ත සභාවට නියෝජිතයන් තෝරන මැතිවරණය ලබන වසරේ (2026) පැවැත්වීමට නියමිතය. එම නිසා ඔහු විසින්ම ගොඩනැගූ පක්ෂයේ නායකයා හා සභාපති වරයා ද ඔහුම වෙමින් පැරණි දේශපාලන මජරකම් අනුගමනය කරමින් උපක්‍රමිකව ඉදිරියට ගෙන යාමට නින්දිත උත්සාහයක නිරත වෙමින් ඇත.
යාන්තමින් උතුර හා දකුණ සංහිදියාවේ කොළ එළිය දල්වමින් සිටින මොහොතක විජේගෙ මෙම ප්‍රකාශය දකුණේ දේශමාමක පිරිස් කුපිත කිරීමට උත්තේජනයක් වන අතර, එමගින් උතුරේ සහෝදර ද්‍රවිඩ ජනයා ද යම් වැරදි මතකයට නැවත පිවිසීමේ හැකියාවක් ඇත. නීත්‍යානුකූල නොවන බලහත්කාරී ආක්‍රමණික අදහස් මගින් නිදහස් රටක ස්වාධිපත්‍යට බලපෑම් කළ නොහැකි බව උතුරේත් දකුණේත් අපගේ සියලුම ජනතාව අවබෝධයෙන් සිතට ගත යුතුය.
උතුරේ ජාතිවාදී දේශපාලකයාත්, දකුණේ ජාතිවාදී දේශපාලකයාත් විජේට වඩා හොඳින් විජේ විසින් වපුල කාරණාව කරතබා ගෙන රටේ පොදු මහජනයා කුපිත කරන අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන ගමනකට පිවිසෙන්නේ නම්, ඒ වෙනුවෙන් සබුද්ධිකව මැදිහත්වන ලෙස අපි සියළු දෙනාට ආරාධනා කරමු.
#එක්සත්ලංකා #ஐக்கியலங்கா
26/08/2025
2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යක් බවට පත් කරන දියසෙන් කුමරු 💔🇱🇰
#එක්සත්ලංකා #ஐக்கியலங்கா