04/06/2026
දකුණු පළාතේ සංචාරක ක්ෂේත්‍රය සඳහා දක්ෂ, වෘත්තීයමය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සංචාරක මාර්ගෝපදේශකයින් බිහිකිරීමේ අරමුණින්, රුහුණු සංචාරක කාර්යංශය විසින් 2015 වසරේ ආරම්භ කරන ලද කලාපීය සංචාරක මාර්ගෝපදේශක පාඨමාලාවේ 2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවාගැනීමේ සමාරම්භක උත්සවය අද (04) දින උදෑසන දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම පාඨමාලාව සාර්ථකව හදාරන අයදුම්කරුවන්ට දකුණු පළාත සඳහා වලංගු කලාපීය සංචාරක මාර්ගෝපදේශක බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව හිමිවන අතර, පාඨමාලාව ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනයේ ඇගයීම හා පූර්ණ අධීක්ෂණය යටතේ සකස් කරන ලද විධිමත් විෂය නිර්දේශයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබේ.
පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ලිඛිත පරීක්ෂණය සහ ක්ෂේත්‍ර අධ්‍යයන ඇගයීම් සාර්ථකව සමත් වන සිසුන් සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ නිල බලපත්‍රය සහ සහතිකය ප්‍රදානය කිරීමට නියමිතය.
මෙවර පාඨමාලාව සඳහා දිවයිනේ ප්‍රවීණ හා පළපුරුදු සම්පත් දායකයින්ගේ දායකත්වය ලබා ගනිමින් දින 21ක කාලයක් පුරා සතියේ දිනවල දේශන සහ ප්‍රායෝගික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ. සංචාරක කර්මාන්තයේ නව ප්‍රවණතා, සංස්කෘතික උරුමයන්, පුරාවිද්‍යාත්මක වටිනාකම්, පාරිසරික සංචාරක කටයුතු, පාරිභෝගික සම්බන්ධතා සහ විදේශීය සංචාරකයින් සමඟ වෘත්තීය සන්නිවේදනය වැනි ක්ෂේත්‍ර රැසක් මෙහිදී ආවරණය කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමා සඳහන් කළේ, සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සෘජුවම දායක වන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අතර, එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වෘත්තීයමය හා දැනුමෙන් සන්නද්ධ මාර්ගෝපදේශකයින් බිහිකිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. දකුණු පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතික උරුමයන් සහ ස්වභාවික සම්පත් ලෝකයට නිවැරදිව හඳුන්වා දීමට මෙවැනි පුහුණු වැඩසටහන් ඉතා වැදගත් බවද එතුමා අවධාරණය කළේය.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම් මහතා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිෂාන්ත මහේන්ද්‍ර මහතා, රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති පී.ජී.ජී.එස්. ජයාන් මහතා, ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික අධ්‍යක්ෂ පී.ජී. හෙට්ටිආරච්චි මහතා, රුහුණු සංචාරක කාර්යංශයේ උප සභාපති රවී ජයවර්ධන මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිශාන්ති ලියනගුණවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන්, පිරිසක් සහභාගී වී සිටියහ.
04/06/2026
බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලද විශේෂ වෙසක් කලාපය මැයි 30 සිට ජුනි 01 දක්වා මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උතුම් පණිවිඩය ජනතාව අතර ප්‍රචලිත කරමින් ආගමික, සංස්කෘතික හා සමාජීය බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම එහි ප්‍රධාන අරමුණ විය.
වෙසක් කලාපයේ ප්‍රධාන ආකර්ෂණය වූ අලංකාර වෙසක් තොරණ විවෘත කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට වෘත්තීය පුහුණු ගරු නියොජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු මහජන නියෝජිතයන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ.චන්ද්‍රලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජිතයන් සහ විශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියහ.
බුද්ධ චරිතය හා ධර්මයේ උතුම් හරයන් සජීවීව ප්‍රතිනිර්මාණය කළ මෙම තොරණ නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටීම විශේෂත්වයක් විය.
ගාලු පුර බොදු සවිය, ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද මෙම තොරණ, වෙසක් සමයේ ආධ්‍යාත්මික වටිනාකම් නව පරපුර වෙත සමීප කරවන නිර්මාණාත්මක හා අර්ථවත් කලා කෘතියක් ලෙස සැලකුණි.
වෙසක් කලාපයට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේ සංවිධානය කරන ලද භක්ති ගීත සංදර්ශනය ද ජනතා ආකර්ෂණය දිනාගත් අතර, බැති ගී රාවයෙන් මුළු ගාල්ල නගරයම පුණ්‍යමය සහ සන්සුන් වාතාවරණයකින් පිරී ගියේය.
මීට අමතරව, ගාල්ල නගරය පුරා විදුලි ආලෝක සැරසිලි, විවිධාකාර වෙසක් කූඩු හා පහන් කූඩු ප්‍රදර්ශන, දන්සැල්, ධර්ම දේශනා, බෝධි පූජා, ශීල ව්‍යාපාර සහ බෞද්ධ සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර, සියලු ජනතාවට වෙසක් උත්සවයේ සැබෑ ආධ්‍යාත්මික අරුත මෙන්ම සමාජීය එකමුතුවේ වටිනාකම ද අත්විඳීමට අවස්ථාව උදා විය.
දාන, ශීල හා භාවනා යන බෞද්ධ ප්‍රතිපත්ති ජන ජීවිතයට සමීප කරමින්, කරුණාව, මෛත්‍රිය, සහජීවනය හා සමාජ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වෙසක් කලාපය, ආගමික හා සංස්කෘතික උරුමය සුරැකීම සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කළ බව පැවසේ.
ගාලු පුර බොදු සවිය, ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගාල්ල මහ නගර සභාව ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක එකමුතු දායකත්වයෙන් මෙම වෙසක් කලාපය සාර්ථකව සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ද සහභාගී වූ අතර, ආගමික හා සමාජීය කටයුතු වෙනුවෙන් පෞද්ගලික අංශය ලබාදෙන දායකත්වය සහ සමාජ වගකීම ද මෙහිදී මනාව ප්‍රදර්ශනය විය.
වෙසක් කලාපය පුරා ජනතාවගේ උද්යෝගිමත් සහභාගීත්වය සහ ආයතන රැසක සහයෝගීතාවය හේතුවෙන්, ගාල්ල නගරය දින කිහිපයක් පුරා ආලෝකයෙන්, බැතිබරත්වයෙන් සහ සමාජ සුහදත්වයෙන් පිරි පුණ්‍ය භූමියක් බවට පත්විය.
04/06/2026
හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හම්බන්තොට දිස්ත්‍රික් කමිටු සභාපති හා හම්බන්තොට දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මැතිතුමන්ගේ සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි.
මෙහිදී පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු හා යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සහ විමධ්‍යගත අයවැය වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ඇතුළු රජයේ ප්‍රධාන සංවර්ධන වැඩසටහන්වල වත්මන් තත්ත්වය සහ වැඩසටහන් කිරීමේ දී ඇතිවී තිබූ ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
සභාව අමතමින් ගරු ආණ්ඩුකාරවරයා සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් වඩාත් කාර්යක්ෂමව හා ජනතා අපේක්ෂාවන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවයි. ජනතාව මුහුණ දෙන ගැටලු කඩිනමින් හඳුනාගෙන ඒ සඳහා ප්‍රායෝගික හා තිරසාර විසඳුම් ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවද එතුමා අවධාරණය කළේය. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපාදන උපරිම ඵලදායීතාවයකින් යුතුව භාවිතා කරමින් සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලසීමාවන් තුළ නිම කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුල වෙළඳගොඩ මහතා, වෛද්‍ය සඳරුවන් මදරසිංහ මහතා සහ දිලිප් වෙද ආරච්චි මහතා, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතනවල වගකිව යුතු නිලධාරීන් හා ආරක්ෂක අංශ ප්‍රධානින් රැසක් සහභාගී වූහ.
04/06/2026
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සම සභාපතිවරුන් වන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ හා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ගැටලු හා යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සහ විමධ්‍යගත අයවැය වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ඇතුළු රජයේ ප්‍රධාන සංවර්ධන වැඩසටහන්වල වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
එමෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු, රාජ්‍ය පරිපාලනය, ආර්ථික සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, පශු සම්පත්, වාරිමාර්ග, ප්‍රවාහන හා මහාමාර්ග, කර්මාන්ත සංවර්ධනය, ධීවර හා සාගර සම්පත්, සෞඛ්‍ය, ග්‍රාමීය සංවර්ධනය, බලශක්ති හා පරිසර සංරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් ද ප්‍රගති සමාලෝචනයක් සිදු කෙරිණි.
සභාව අමතමින් ගරු ආණ්ඩුකාරවරයා සඳහන් කළේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් වඩාත් කාර්යක්ෂමව හා ජනතා අපේක්ෂාවන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවයි. ජනතාව මුහුණ දෙන ගැටලු කඩිනමින් හඳුනාගෙන ඒ සඳහා ප්‍රායෝගික හා තිරසාර විසඳුම් ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවද එතුමා අවධාරණය කළේය. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපාදන උපරිම ඵලදායීතාවයකින් යුතුව භාවිතා කරමින් සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලසීමාවන් තුළ නිම කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
මෙහිදී දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය අංශ නියෝජනය කළ වෛද්‍ය නිලධාරිනිය විසින් ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත වීමේ ප්‍රවණතාව, අවදානම් ප්‍රදේශ සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, පිරිසිදු පරිසරයක් පවත්වාගෙන යාම සහ ජනතාව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන හා මහජනතාව එක්ව කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය, බලශක්ති ගරු නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, මාතර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජන්ත ගම්මැද්දගේ මහතා, මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා, ලාල් ප්‍රේමනාත් මහතා, චතුර ගලප්පත්ති මහතා ඇතුළු මහජන නියෝජිතයන්, දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
04/06/2026
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සහ ජනතා සේවා වඩාත් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී අයුරින් ඉදිරියට ගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පරිපාලන සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විය.
මෙම සාකච්ඡාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන් රැසක් සහභාගී වූ අතර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම් මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් මහතා, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මහතා, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් එස්.ඩබ්.පී.ජී. සරත් මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කේ.කේ. සමන්තිලක මහතා (ඉංජිනේරු සේවා), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) රනිල් වික්‍රමසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී 2026 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම ව්‍යාපෘති රජයේ ප්‍රමිතීන්ට අනුකූලව සහ ජනතා අවශ්‍යතා මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
එසේම ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම, ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා හා අභියෝග, මුදල් ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිත කිරීම සහ සංවර්ධන කටයුතු වේගවත් කිරීම පිළිබඳව එක් එක් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ අදහස් සහ යෝජනාද විමසන ලදී.
විශේෂයෙන් ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පානීය ජල පහසුකම්, මහජන සෞඛ්‍ය පහසුකම්, පරිසර සංරක්ෂණ වැඩසටහන් සහ පළාත් පාලන ආයතන මගින් ජනතාවට සපයන අත්‍යවශ්‍ය සේවා තවදුරටත් ගුණාත්මක ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
එමෙන්ම, ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධන අරමුණු සපුරා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් ක්‍රියා කිරීමේ වැදගත්කමද දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් මෙහිදී අවධාරණය කළහ.
31/05/2026
රට තුළ තිරසාර ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා ආගමික ප්‍රබෝධයක් ද අත්‍යවශ්‍ය වන අතර, සම්බුද්ධ ශාසනය සහ ශ්‍රී සද්ධර්මය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීමේ වගකීම සියලු දෙනා නිසි ලෙස හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවීම වෙසක් පුන් පොහෝ දිනයේ ගත හැකි උතුම් අදිටනක් බව අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (27) මාතර තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති “දක්ෂිණා ප්‍රභා” රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
සම්බුදු දහම වර්තමානයේ ජීවත් වන අපට හෝ සිවුරක් දරා වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට පමණක් සීමා වූවක් නොවන බවත්, එය සමස්ත ලෝකවාසීන්ගේ විමුක්තිය හා යහපත උදෙසා දේශනා කරන ලද අති උතුම් ධර්මයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තවද සංඝ සමාජයේ විනය හා සංවිධානශීලීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සංඝ සංස්ථාව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සම්පාදනය කිරීමට රජය අපේක්ෂා කරන බව ද එතුමා සඳහන් කළේය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “දක්ෂිණා ප්‍රභා” නමින්, “අභිත්ථරේථ කල්‍යාණේ” යන තේමාව යටතේ ජාතික වෙසක් සතියට සමගාමීව මැයි 27 සිට ජුනි 01 දක්වා මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
මෙම ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය හා ආමිස පූජා කලාපය යන වෙසක් කලාප දෙකකින් සමන්විත වන අතර, මාතර ඓතිහාසික කොටු පවුර ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපයත්, මාතර නගරය හා වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපයත් සංවිධානය කර ඇත.
ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ ධර්මදේශක ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා, කවි බණ වැඩසටහන්, දානමය හා ශීල-භාවනා වැඩසටහන් ඇතුළු ආධ්‍යාත්මික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එමෙන්ම ආමිස පූජා කලාපය තුළ වෙසක් කූඩු, තොරණ, පහන් කූඩු සහ විවිධ බෞද්ධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විශේෂාංග රැසක් ජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරේ.
මෙම අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගරු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූ අතර, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන් ද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස මෙම උත්සවයට එක්විය.
බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවන් අනුව කටයුතු කරමින් සදාචාරවත්, දයාබර සහ වගකීම් සහගත සමාජයක් ගොඩනැඟීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බවත්, එමගින් අනාගත පරපුරට යහපත් හා සුරක්ෂිත රටක් දායාද කළ හැකි බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
30/05/2026
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ගොවි ජනතාවට සිදු වූ වගා හානි සඳහා 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කන්න හතක් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 27 වැනිදා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගොවි ජනතාව මුහුණ දෙන අලාභ හානි සඳහා කඩිනමින් සහන සැලසීම රජයේ ප්‍රතිපත්තියක් වන අතර, එහි ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම වන්දි ප්‍රදාන වැඩසටහන සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එමඟින් වසර ගණනාවක් පුරා වන්දි අපේක්ෂාවෙන් සිටි ගොවි ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට රජය කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මැතුණිය, ගරු දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමා, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභී ගොවි මහතුන් විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම වන්දි ප්‍රදානය මඟින් ගොවි ජනතාවගේ ජීවනෝපාය යළි ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ගොවි ජනතාවගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා වැදගත් පිටුබලයක් සැලසෙන බව මෙහිදී අවධාරණය කෙරිණි.
30/05/2026
ශ්‍රී සද්ධර්මයේ උතුම් ගුණ සිත් තුළ ප්‍රබෝධමත් කරමින්, රටටත් ජනතාවටත් සාමය සහ සෞභාග්‍යය උදාකරන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🌕
28/05/2026
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මැතිතුමා සහ හම්බන්තොට ඉන්දීය කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මැතිතුමන්, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ. මෙම හමුව අද (28) දින දකුණු පළාත් ආණ්ඩුකාරවර නිල නිවසේ දී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ඓතිහාසික, සංස්කෘතික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. දෙරට අතර පවතින සහයෝගීතාව දකුණු පළාතේ සංවර්ධන කටයුතු සඳහා වඩාත් ඵලදායී අයුරින් යොදා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
විශේෂයෙන් දකුණු පළාතේ සංචාරක කර්මාන්තය නවීකරණය කිරීම, විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම, තරුණ පරපුර සඳහා තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම, අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීම සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනුම හුවමාරුව වැඩිදියුණු කිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනු ලැබීය.
එසේම ඉන්දීය රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ITEC වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්, සිසුන් සහ වෘත්තිකයන් සඳහා ලබාදී ඇති පුහුණු අවස්ථා පිළිබඳවද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. ඉදිරියේදී දකුණු පළාතේ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු හා දැනුම් අවස්ථා තවදුරටත් ලබාදීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු විය.
දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමන් මෙහිදී සඳහන් කළේ, දෙරට අතර පවතින මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ජනතා සුභසාධනය හා සංවර්ධනය සඳහා වඩාත් ඵලදායී අයුරින් භාවිතා කිරීම ඉතා වැදගත් බවයි. එමෙන්ම දකුණු පළාතේ අනාගත සංවර්ධන සැලසුම් සඳහා ඉන්දියාව සමඟ තවදුරටත් සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාරතුමන් අවධාරණය කළහ.
දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරමින් තිළිණ හුවමාරුවක්ද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් සුධර්මන් වෛද්‍යරත්න මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් නිලංගි ඩයස් මහත්මිය, දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ මාධ්‍ය ලේකම් සඳුන් එම්. මෙන්ඩිස් මහතා, ඉන්දීය කොන්සුල් ජනරාල් කාර්යාලයේ වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරී ආර්. නිශාන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
25/05/2026
රාජ්‍ය ගුවන්විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය අනුමණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික වැඩසටහන් මාලාව යටතේ, දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත වෘත්තික මාධ්‍යවේදීන්, මාධ්‍ය විෂය භාර ගුරුවරුන් සහ මාධ්‍ය විෂය හදාරන ශිෂ්‍යයන්ගේ දැනුම, කුසලතා හා මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ගරු දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන් සහ එම අනුමණ්ඩලයේ නිලධාරීන් අතර පැවැත්විනි.
මෙම සාකච්ඡාවේදී, නව මාධ්‍ය භාවිතය, වගකීම් සහගත සමාජ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම, තොරතුරු සත්‍යාපනය, ව්‍යාජ ප්‍රචාර හඳුනා ගැනීම, මාධ්‍ය නිදහස හා මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම පාසල් මට්ටමේ සිට මාධ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගැනිණි. එමෙන්ම දකුණු පළාතේ තරුණ පරපුර නිවැරදි මාධ්‍ය භාවිතයකට යොමු කරමින් නිර්මාණශීලී හා වගකීම් සහගත මාධ්‍ය පරිසරයක් ගොඩනැගීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම වැඩමුළුව මගින් මාධ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, ඩිජිටල් මාධ්‍ය භාවිතය, සන්නිවේදන කුසලතා සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම තුළින් දකුණු පළාතේ මාධ්‍ය අධ්‍යාපනයට නව උත්තේජනයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ගරු දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ මාධ්‍ය ලේකම් සඳුන් එම්. මෙන්ඩිස් මහතා, රාජ්‍ය ගුවන්විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය අනුමණ්ඩලයේ උප සභාපති ආචාර්ය ධම්මික දිසානායක මහතා, ලේකම් ජී.ඒ. ජිනප්‍රිය මහතා, සහකාර ලේකම් ඉනෝකා සුගතදාස මහත්මිය සහ අනුමණ්ඩල සාමාජික චන්දන තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.